Pages

Sunday, April 30, 2017

විරාමය නැවතිය යුතු

තනිකමත් අරුමය
කවි සිතට කදිමය,
නමුඳු
හදවතට නොරිසිය

ඇය නොදැකුමත්
සොඳුරුය
ඇය ගැනම සිත විමසුම
කොනක හැම හුස්මක
නමුඳු
නෙත සොයන්නේ ඇයමය...

කදිම තනිකමත්
සොඳුරු නොදැකුමත්
දැරිය නොහැකිය තවත්
හදවත උරණය
නෙතට වෙහෙසය
මේ විරාමය දිගු
නැවතිය යුතුම සමයය....

සසැලෙන ලොවක

යුද බිමක ඇත්නම්
නිසල බවක්
කිසිවෙකුන් නොහඟින
ඒ මගේ හදවතයි,
වළා පිරුණද අහසක
නොමැකෙයි
හිරු එළිය එයින්
අසංක්ශිප්තිත රික්තය එයයි,
ඉර්තු වෙනස්වන ලොවක
ගසක අරටුව
නොවෙනස්ය මියෙන තෙක්,
සසැලෙන ලොවක
නොසැලන දෑ හිඟය,
නිසල හද බිමක
රික්ත අවකාශයක
හටගනී නම් යමක්
ඒ ඕපපාතික පෙමක් පමණය...

ඉරණම

අඳුර ලොව
වසාගත් විට
නුබේ සෙවනැලි අඳින්නම්
නෙතු පියන්
වැසුණු විට
නුඹගෙ රුව මවන්නම්
රාත්‍රියේ සීතල
ගත වෙලාගත් විට
නුඹගෙ උණුහුම සිහි කරන්නම්
කුරුළු සර ලොව
මැකුණු දිනයක
නුඹගෙ හඬ සිත පුරන්නම්
මගේ හද ගැස්ම
නවතින යම් දිනක
මේ සියල් මතකයන්
සුසානය වෙත රැගෙන යන්නම්....

ගිම්හානය නපුරුය

ගිම්හානය නපුරුය
සවන් පත් අසල
ගී ගැයූ
පුංචි කිරිල්ලිය
අද ටිකක් ඈතය....

වසන්තයේ ඇය
නැවත එන බැව්ද
වසන්තයට
තව දින දෙකක් බැව්ද,
එතෙක් රිස්සිය යුතු බව
ගිම්හානයේ දාහය
කියාදිය හැක්කේද
පුංචි කිරිල්ලියටමය....

Saturday, April 29, 2017

නිශා යාමයන් විටෙකදී ඉතා දිගුවෙත්

සඳ අමාවක
වියලි
සීත නිශා යාමයන්
විටෙකදී ඉතා දිගුවෙත්
ආදරයද වියෙලෙනේ
සඳ දියෙන් නොතෙමන
එවන් සමයට....

තරු මල් පිපුණද දහසක්
අහස පුරාවට
සඳ නොමැති අවසරයෙන්
පෙම් මල් පිපෙන්නේ
සඳ දිය පහසටමය,
පුංචි පුංචි තරු කැට වලට
කෙලෙසක හැකිද
පුදන්නට සඳක සෙනෙහස,
අහසකට උරුම
එක සඳකි වෙන නැත
අහස පිරෙන්නේ එවිටය
පෙම් මල් පිදෙන්නේ
සඳලියට පමණය....

විලකට නෙළුම

ඉවුරු බිඳීගිය
බොරදියෙන් පිරීගිය
පත්ල ගලින් වැසීගිය
අරණක කොනක
සුසුම් හෙළන
විලකට වුව
කදිමයි අනගියි
ස්නේහයේ එකමැ නෙළුමක්...

සුනිල දිය විලක වුව
කිළිටි මඩ වලක වුව
පිපුනේද නෙළුමක්
ගෙන එයි එකමැ සුවඳක්,
ඒ ප්‍රේමයයි
කුමන විලක් වුව
ලොවට පුදාලන...

ලොවට අතැහැරුනු
සියුම් සොඳුරු තැන් දකින
සමනල කිදුරියකට
නෙළුමකින් වෑහෙන
නොඉඳුල් ආදරයක
විසිරෙන සුවඳ මිස,
පිපුණු තැන කිළිට්ටද
පිපුණු සැටි නිමිත්තද
පළක් වන්නේ නොමැති
පළක් වූයේද නැති...

නෙළුමක්නම්  නෙළුමක්මය
පෙමක්නම් පෙමක්මය
කොතැනක පිපුණද
කෙලෙසක පිපුණද
එකම සුවඳක් විහිදුවාලන.......

Friday, April 28, 2017

අමාවක රැය සසරකි

වාළුකා තලය නිසලය
සීතල රාත්‍රියක, 
වළා සේලයක එතී 
සඳ සැඟවිලාය 
සංසාර දුක උරුම කළ
ඈතක... 

තරුවකුදු නොපිපෙන රාත්‍රිය 
සිසිරයක හිම සීතයි, 
උණුහුමක් අයදියි 
වාළුකා තලය නිසසල අහසින්, 
විඩාපත් දෑස් පිසමින් විමසයි
සඳ එන්නේ කවදාද යළිත්  
අහිමි වසන්තයේ 
සුවඳක් කැටුව....

රුදුරු හිරු මුදාලන 
දිවාකල දාහයෙන් දැවුන  
සීත කැන්දන් එන රාත්‍රී අහසක් 
පුරවා සැනහිය නොහැක
පුංචි පුංචි තරුමල් වලට

දහවල් දාහෙන් පිපිරී 
රාත්‍රී සීතෙන් හැකිලෙන 
වාළුකා තලයකට 
සොඳුරු සඳ පිපි රැයක් මිස 
නොමැත අන් සැනහුමක්  

එහෙව් වාළුකා තලයකට 
අමාවක රැයක් 
ගතකළ නොහෙන 
සසරක් බැව් 
සඳ මලට  නොහැගේද.....