Pages

Sunday, November 7, 2010

අතෘප්තිය

මේක ගේමක්,
මිනිහෙක් වෙලා
ඉන්න එක.....
අතරමඟදි
සැරෙන් සැරේ
රීලෝ.........ඩ්!
කියල කෑ ගහන.....

පුරවපන්
පිස්තෝලෙට
මොනවහරි
වෙඩි තියන්න
විඳවන්න,
ආයෙ ආයෙත්
රීලෝ................ඩ්!!!
කියල කෑ ගහන්න.....

Wednesday, November 3, 2010

හිර වීම


මම
මිනිහෙක්,
අත්දෙකක්
පැතුම් ගුලි පිරුණු,
හදවතක්
වියලී ඉරි තැළුනු,
කකුල් දෙකක්
ඉස්සර තිබුණු,
මොළයක්
එක බිංදු එක බිංදු,
ආමාශයක්
අම්ලය පිරුණු,
අරකක්
කෙලින් වුණු

විසිකරනව
පැතුම් ගුලිකරල
අහසට හැමදාම
ඒත්.......
බැහැ,
අධි ගුරුත්වය
ආර්ථිකය,
හිර කරනව
පැතුම් ගුලි
අතැගිලි අතර

අමාරුයි
දරා ගන්න
බර
පැතුම් ගුලිවල,
යටවෙලා
තැලිලා
හුස්ම අදිනවා
මම.....

අධි ගුරුත්වය
පය අලවල
පොළවට
කාලයට
මුල් ඇදල
කකුල් පැලවෙලා,
අත් දෙකක්
හදවතක්
මොළයක්
ආමාශයක්
අරකක්
එක්ක
මම
ගහක්
සැලෙන
එක තැන
ලෝකයක
සංකර

අතු පතර
දිග
මගේ සීමාව,
මා නුහුරු
විශාල ලෝකයක්
‍හතර අත
යාගන්න බැරි.....

මැරෙන්න බැහැ
කපාගෙන
මගේ බඩ,
බරවෙලා අත්
හිරවෙලා ඇඟිලි
නුවුවමනා
පැතුම් ගුලි.....

ගිලිනව මම
ගුලි ඔක්කොම
කොහොම හරි
ජීරණය වෙන්න
මගේ බඩේම,
එතකොට ඒවි
ගඳ ගහන
ගූ ගොඩක්
පොළවට
පස් වෙන්න....

ගලවනව පොත්ත
මගේම
මැරෙන්න
කුණු වෙලා
කඳ....

විසි කරනව
මගේම
බීජයක්
එකම එක
විශ්වයට,
හදන්න
මිනිහෙක්
නිදහසේ පාවෙන්න.....

Friday, October 22, 2010

වුවමනාව


මට
හඳක් එපා
පැත්තක් අඳුරු,
ඈත ඉදන්
ආදරය කර කර
ගල් ගහන්න...

මට
ටීක් බෝලයක් ඕනි
විනිවිද පේන,
අල්ලෙ තියන්
හුරතල් කර කර
මිරිකන්න...


Wednesday, October 20, 2010

ටොරින්ටන් රූම්ස්


නිදහසේ කොටුව,
නිදහසේ කොටුවක්
පනින්න...

නිදහසේ අභිමන්
තුරඟුන් දරා එන
සොදුරු මාවත
දෙපස
පොඩි පොඩි
පෙට්ටි
ඒ පස්සෙ
අවතැන් ආදරය
කාස්ටක අව්වෙන්
මූණු හංගන්
නිදහසේ
සුව විදින

ඔන්න ටොරින්ටන්
නුඹේ
නිදහසේ
කොටු
බෙඩ් රූම් එක...

Sunday, October 17, 2010

Where Life - Where I


when I call life
it
was away

when life calls me
it
was too late

Monday, October 11, 2010

ඇගේ කිලිට්ට


ජීවන නදිය
අසබඩ
බුරුල් කොටයට
පයගසා
කිලිටි සෝදන
ගැහැනිය

ඹබ ඹබා
සෝදන්න
කිලිටි රෙද්ද
නුබේ,
මඩ වතුරෙන්
පල් වතුරෙන්
නුබ
දෑහටවත් නොදකින
විසබීජ පොගවන්න
නුබේ රෙද්දෙහි,
ඇදගන්න එය
තවරන්න
නුබේ ඇග පුරාම
ඒ විසබීජ,
ජීවන ගං වතුරෙහි
නුබ සෝදා හැරි
නුබේම
කිලිට්ටේ හිලව්වට

බල(හත්/පුලුවන්)කාරකම්


මකියාවෙලී
මම
නුඹේ
කුමාරයා

කියාදෙන්න
මට
පාඩමක්
බලය ගැන
දේශපාලන විද්‍යාවේ
නෙමෙයි
ශාරීරික විද්‍යාවේ

කියාදෙන්න
මට
රැක ගන්න
මගේ
ශාරීරික රාජ්‍යය

කියාදෙන්න
මට
කපටි වෙන්න
හිවලෙක් වගේ
රැක ගන්න
මම
නෙලා ගත්
මිදි වල්ල

කියාදෙන්න
මට
නිර්භීත වෙන්න
සිංහයෙක් වගේ
රැක ගන්න
මගේ
මස් ගොඩ
අනිත් උන්
දත නොගහන්න

කියාදෙන්න
බලවත් වෙන්න
ශාරීරික
සංදර්භයේ
බලය
අල්ලන්න
රැක ගන්න
පතුරුවන්න
මට
කුමාරයෙක් වෙන්න

බැරිනම්
එන්න
පෙත්සමක් ලියන්න
ස්වභාව ධර්මයට
රැක ගන්න
මනසින් උසස් කම
මනුසත් කම
මට
සරල
සාමාන්‍ය
මිනිහෙක් වෙන්න



Sunday, October 3, 2010

ඔයා දැන් ලොකු ළමයෙක්


පාට දේදුන්නක නැගී
චණ්ඩ හිරැ රැස්
සුසිනිදු වළා කැටියකින් පෙරා
වලාකුලු සුරංගනාවියන්
දෙකපුල් සිඹිද්දී
ඈත ක්ෂිතිජ ඉමෙන්
එහා ලෝකයක
සොඳුරැ සිතුවමක්
සිතේ සිත්තමි කරගෙන
ගත කලෙමි කාලයක්,
බාල කාලයත්...

වස්සානය අහවරය
පාට මැකී යයි
දේදුන්නේ
ඇසට නොපෙනී
වලා සුර දූතීයන්
පලා යයි ගතට නොදැනී...

කොන්ක්‍රීට් කටු අකුල්
සම සූරන,
ගෙන්දගම් මඩ ගොහොර
දෙපා අලවන,
දස දහසක් මිනිසුන් අතර
අමුත්තෙකුව,
පය තැබූවෙමි
හුදෙකලා ලොවකට
තනිවම

තරඟයකි
වෙළද තරඟයකි...
නැත කිසිවෙක්
හට කාලය
මා වෙනුවෙන් නොව
තමන් වෙනුවෙන්ද...

දස දහසක් මිනිසුන් අතර
හුදෙකලා වී
ක්ෂිතිජ ඉමෙන් එපිට
පරිකල්පනීය මිරිගුව
හදෙන් කැඩී කැඩී
ගැලවෙද්දී...
පෘථිවි යථාර්ථය
කලු දුම් දුහුවිලි
විශ සමඟ විත්
සිප ගනියි දෙකොපුල්
"මෙයයි ජීවිතය"
රහසේ කොඳුරමින්

මම
ඔබ
අපි
සියල්ලන්ම
තනිවී ඇත
මම
ඔබ
අපි වැනිම,
දස දහසක්
මිනිසුන් මැද
අරැම පුදුම
වෙළද ලෝකයක
විකිණෙමින්
විකුණමින්
ලන්සු තබමින්
මිලට ගනිමින්
තම තමන්වම...

Friday, October 1, 2010

සිය දිවි නැසීම සහ ජීවත්වීම


විනාඩි දෙකේ
නූඩ්ල්ස් එකක්
කාල
ගෑස්ට්‍රික්
හදා ගන්නවද
අමාරුවෙන්
බතක් මාලුවක්
උයාගෙන
බඩ පිරෙන්න
කනවද?

Friday, September 24, 2010

ගොන්කමට බෙහෙත්......


සුන්දර මායාවක
ගැටගැහිල
ඈතට
වීසිවෙනකොට
හිතෙනව
ජීවිතය
ලස්සනයි කියල
සුන්දර මායාව
යථාර්තයේ නැතිකොට,
සිහින ඉසව්වෙන්
එලියට
අදින්න බැරිකොට
වටපිටේ ඉන්න
කොණ්ඩෙ දිග
හැම
ප්‍රාණියෙක්ම
ගණිකාවො
වෙනවද......



Wednesday, September 22, 2010

ආදරය ගැන කවි ලියන්නත් එපා...එයාගෙන් ලේන්සු ඉල්ලන්නත් එපා

"ආදරය ගැන කවි ලියන්නත් එපා...එයාගෙන් ලේන්සු ඉල්ලන්නත් එපා" ඔය දෙකම මම මගේ ජීවිතයේ වෙනස්ම අවධි දෙකකදී අවවාද විදිහට අහන්න ලැබුන ඒවා. තමන් ආදරය කරන කෙනාගෙන් ලේන්සු ඉල්ලපුහාම ඒ සම්බන්ධය කැඩෙනවා කියල මට හැඟීම් එන කාලේ ඒ කියන්නේ නමය වසරේදි විතර කවුරු හරි මම ඉස්කෝලේ අයියා කෙනෙක්ගෙන් අහපු කතාවක්. ඒ කාලේ තමයි මම love සහ making love ගැන investigation කරන්න පටන් ගත්ත කාලේ. ඉතින් ඕනි එකෙක් කියන ඕනිම කුනු කන්දලයක් අහගන්නවා. ඒ කාලේ අහපු වැදගැම්මකට නැති කතා කෝටියක් ඇතුලේ මට අද වෙනකොට ඒ කියන්නේ අවුරුදු විසි ගනන් වෙනකොට මතක "එයාගෙන් ලේන්සු ඉල්ලන්න එපා!!!" කියල කියපු එකක් විතරයි. ඒක මම විශ්වාස කරන්නේ නැහැ. ඒත් මොකක් හරි හේතුවක් නිසා මගේ හිතේ ඒක තියෙනවා. ආහ්......මම අද ලියන ආඛ්‍යානය වෙනස්. සරලයි. මොකද මේ ලියන දෙය මට බරට ගන්න කැමති නැති නිසා. ඒ ඇයි කියල මම කියන්නම්.


ලේන්සුව කියන්නේ කුළුදුල් ආදර සංස්කෘතියේ මාර වස්තුවක්. "එයාගෙන් ලේන්සු ඉල්ලන්න එපා" කියල මම අහපු කාලේ මම ඔය දේවල් අවිධිමත් විදිහට ඉගෙන ගත්ත කාලේ කියල කියමු. අවිධිමත් කියන්නේ ඔය වීඩියෝ එකක්, පත්තරයක්, නවකතාවක්, කාගෙන් හරි අහගෙන, හින්දි චිතපටයකින් කච් කුච් හෝතා හේ උන කාලේ. හැමෝටම තියෙනවා එහෙම කාලයක් උපරිම අලයෙක්ට ඇරෙන්න. ඒ කාලේ හිතේ පුරව ගත්ත ලට්ට ලොට්ට වලින් ඇයි මේක විතරක් මම අවුරුදු විසි ගණනක් වෙලත් මතක? හිතන්න ඕනි දෙයක්. ඒත් මම කියන දෙයක් තමයි මම මාවම අර්ථනය කරන්න කැමති නැහැ කියන එක. කොහොම හරි ලේන්සුව කියන එක මගේ ආදර කතාවෙ වැදගත් සාධකයක් උනේ නැහැ. මම එයාගෙන් එයාගේ සුවද තවරපු ලේන්සුවක් ඉල්ලගෙන ඒක නහය උඩ තියන් ඉදලම නැහැ. මොකක්දෝ දෙයක් මා ලව්වා ඒ දේ කෙරෙව්වේ නැහැ. මම හිතන්නේ මගේ හිතේ කෙටිලා තියෙන "එයාගෙන් ලේන්සු ඉල්ලන්න එපා" කියල කියපු මට මෙලෝ මතකයක් නැති අයියා කෙනෙක් මගේ හිත් අවකාශයේ පුංචිම පුංචි අංශුවක අධිකාරිත්වය දරනවා වෙන්න ඇති .  
"ආදරය ගැන කවි ලියන්න එපා" මේක මට කියන්නෙත් අයියා කෙනෙක්. මම සම්බන්ධතා, ආදරය ගැන න්‍යායාත්මකව හදාරන්නේ මේ කාලේ. ඒ අවදිය මගේ ජීවිතයේ වෙනම පිටුවක්. අවුරුදු එකහමාරක්. ඒ කාලේ මම න්‍යායන් ගොඩක්, දාර්ශනිකයෝ නාමාවලියක්. ආදරය ගැන කිව්වොත් ප්ලේටෝගේ තත්‍ය ප්‍රේමයෙන් පටන් අරගෙන ඩෙරීඩගෙ විසංයෝජනයෙන් ආදරය විසංයෝජනය කරපු කාලයක්. මට කවමදාවත් අමතක නොවෙන මේ අයියා දවසක් කියනවා "මල්ලී කවදාවත් ආදරය කවියක් විදිහට ප්‍රකාශණය කරන්න එපා" කියල. ඇයි? මම හිතන විදිහට කවියක් කියන්නේ අපි ජීවිතයේ අත් විදින යම් අනුභූතියක( අත්දැකීමක් ) නිසා ලද කම්පනයක් වචන කිහිපයක් තුලින් ප්‍රකාශණය කිරීමක්. මේ විදිහට ඕනිම කලා මාධ්‍යක වෙන්න පුලුවන්. හැබැයි විශේෂත්වය වෙන්නේ කලා නිර්මාණය සාර්තකනම් නිර්මාපකයා තමා ලැබූ අත්දැකීමෙන් ලද කම්පනයෙන් මිදෙන්න ඕන, ඒ සියළුම කම්පනය කලා නිර්මාණය තුළ ගැබ් වෙන්න ඕනි. ඒ කලා නිර්මාණය රස විදින සහෘදයාද ඒ අයුරින්ම එකී කම්පනය අත් විදින්න ඕනි. කවුරු හරි පිටු දාහක නව කතාවක් ලියල අත්දැකීමකින් හෝ රාශියකින් ලද කම්පනය අතික්‍රමණය කරනකොට කවියෙක් එකී කම්පනයම වචනය කිහිපයකින් ප්‍රකාශණය කරන්න පුලුවන්. මේ ආස්ථානයේ ඉදන් බැලුවොත් ආදරය කරන ආදර වන්තයෙක් තමන්ගේ ආදරය කවියකින් ප්‍රකාශ කලොත්? නියම කවි ලියන අයට තේරෙනවා ඇති යම් දෙයක් ගැන නියම කවියක් ලියන්න ඒ ගැන තමා තුල තිබෙන හැම දෙයක්ම පෙරල පෙරල ඒවා වචන වලට ගේන්න අරගලයක් කරන්න ඕනි කියල. එතකොට ආදරය ගැන එහෙම කවියක් ලියන්න ගියොත් තමා තුල තියෙන ආදරයෙන් වෙන කම්පනය නැති වෙනවා. ආදරය හිත් අවකාශය තුල සාමාන්‍යකරනය වෙනවා. එතකොට ඒ ආදරේ විශේෂත්වයක් නැති වෙන්වා. තමන්ට ආවේනික ආදරය, කම්පනය ජන සතු වෙනවා. ජන සතු වුන ආදරයක ඉන්න පුලුවන් තරම් හදවත ලොකුනම් කමක් නැහැ. විරහව ගැන කවි වැඩි ඇයි? මිනිස්සු තමන් අත්විදින වේදනා ප්‍රකාශණ මාධ්‍යකින් සාමාන්‍ය කරනය කරන්න හැම වෙලේම උත්සාහ කරනවා. හොදම උදාහරණය මල ගෙවල්. එන එන හැම මනුස්සයටම එකම කතාව ආයෙ ආයෙත් කියන්නේ ඒකයි. අඩල අඩල කතාව දෙතුන් සියයක් කියන සමහරු ඊට පස්සේ මිනිය ඉස්සරහම කාත් එක්ක හරි හිනා වෙවී කතා කරනවා. ඒක තමයි භාශාවේ තියෙන ප්‍රබලත්වය. ඉතින් මෙහෙම බලනකොට ආදරය ගැන කවි ලියන එකයි ඒකෙන් ලව් කැඩෙනවා කියන එකයි අතරෙ අමුතු සහ සම්බන්ධයක් හදන එකේ වැරැද්දක් නැහැ.


මම "ආදරය ගැන කවි ලියන්නත් එපා...එයාගෙන් ලේන්සු ඉල්ලන්නත් එපා " කියල මහ අමුතු මාතෘකාවක් දාගෙන මේ ඔක්කොම කිව්වේ නිමිත්තක් හදා ගන්න. මොකද  බ්ලොග්කරණය දැන් විලාසිතාවක් වෙලා. සිංහලෙන් ගොඩක් බ්ලොග් තියෙනවා. ඒක ගොඩක් හොදයි. ඒ වගේම බ්ලොග් කියවන ලොකු පාඨකයෝ පිරිසකුත් ඉන්නවා. එක එක ජාතියෙ සිංහල බ්ලොග් තියෙනවා. සමාජමය, දේශපාලනික, තාක්ශණික වගේ බ්ලොග් මහ විශාල ගණනක් තියෙනවා. මම හරිනම් බ්ලොග් එකක් කරන්න නැත්නම් බ්ලොග් අවකාශයේ තමන්ව සලකුණු කරන්න කෙනෙක්ට ඕනිනම් ලේසිම ක්‍රම දෙකක් අපිට දකින්න පුලුවන්. ගොඩක් දුරට IT කරන අය බ්ලොග් කරන නිසාදෝ තාක්ශනික බ්ලොග් ගොඩක් තියෙනවා. අපි ඒක එකක් කියමු. අනිත් ක්‍රමය තමයි කවි. කවියක් ඉක්මනට ලියන්න පුලුවන් type කරන්නත් පුලුවන්. ගොඩක් වෙලාව නාස්ති කරන්න ඕනිත් නැහැ. ඒත් එක්කම තමන් ඇතුලේ හිර වෙලා තියෙන ඇරියස් යවන්නත් පුලුවන්. හැම ජාතියකම කලාව පැවතිය යුතුයි. මොකද ඒ ඒ කලාවන් විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරනවා.
මෙතන අපි කතා කරන්නේ කවිය ගැන. මම උඩින් කියපු විදිහට කවිය මහා බරක් කරගෙන ලියන්න ඕනි නැහැ. කෙනෙක් කවියක් මාස ගණනක් අරන් ලියන්න පුලුවන් තවත් කෙනෙක් තත්පර ගානකින්. ඒක තීරනය වෙන්නේ අත්දැකීමේ ප්‍රමාණය සහ ඒකට නිර්මාපකයා සමීප උන ප්‍රමාණය මත.
බ්ලොග් අවකාශයේ පට්ටම කවි තියෙන බ්ලොග් තියෙනවා ඒත් එක්කම උපරිම බොලඳ කවි තියෙන බ්ලොග් එහෙමත් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී බ්ලොග්කරණය තුල ගොඩක් අය තමන්ව අකුරු ගොඩකින් තවත් මිනිස්සු ගොඩකට පෙන්නනවා. සෑම බ්ලොග් වර්ගයක්ම අතරින් කවි තියෙන බ්ලොග් ගොඩක් විශේෂයි. තාක්ශණික බ්ලොග් අඩවියක් ඒ බ්ලොග් එක ලියන කෙනාගේ දැනුම හැකියාව පෙන්නන්නවා. නමුත් කවි තියෙන බ්ලොග් එකක්? කවි තියෙන බ්ලොග් එකක් ඒ බ්ලොග් කරුවාගේ සමස්ථය පෙන්නනවා. සමාජ තත්වය, අද්‍යාපන තත්වය, ආකල්ප, මතවාද, පෞරුෂත්වය ආදී සෑම දෙයක්ම. අපිට මෙහෙම ආප්තෝපදේශයක් උනත් කියන්න පුලුවන් "කවි බ්ලොග් එක බ්ලොග් කරුවාගේ කැඩපතයි". එහෙම හරි යන්නෙත් නැහැ කියන්න පුලුවන් X-Ray පිටපතයි කියල උනත්. මොකද හරියට බ්ලොග් එකක් අධ්‍යනය කරල ගොඩක් දේවල් මැන ගන්න පුලුවන්. මම හිතනවා ගොඩක් ඉන්න සිංහල බ්ලොග් කරුවෝ තරුණ අය කියල. ඒ වගේම විශ්ව විද්‍යාල ප්‍රජාව තුලත් මේක වේගයෙන් පැතිර යනවා. ඒ ගොඩක් අයගේ දෙමව්පියෝ බ්ලොග් බලන අය නොවෙනව කියන එකත් අනිවාර්යයි. ඒකත් ගොඩක් හොදයි. මොකද සමහර කැම්පස් අයගේ බ්ලොග් වල තියෙන සොටු පෙරෙන බොලද ආදර කතා ඒ මිනිස්සු දැක්කොත් "උඹ කැම්පස් ගිහින් ඉගෙන ගත්තේ මෙවනම් වරෙන් පුතේ ගෙදර" කියල ගෙදර එක්කගෙන යනවා. නැත්නම් වසර ගණනාවකට පස්සේ ඒ කෙනෙක්ගේ දරුවෙක් ඒක දැකල තමන් මවක් හෝ පියෙක් ලෙස සංකේතීයව ගොඩනගා ගත් චරිතය දිය කර ගන්නවා. ඒ හැරෙන්නට සමස්ථයක් විදිහට ගත්තහම විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වාගෙන යන බ්ලොග් අඩවි ඉතාමත් විශිෂ්ඨයි. කැම්පස් වල බ්ලොග්කරණය පැතිරීම බ්ලොග්කරණයේ ප්‍රමිතීන් සකසන්නට ඉවහල් වෙන බව නම් අනිවාර්යයි. මටත් බ්ලොග් ගැන පොඩි අත්දැකීමත් තිබුනත් මේ බ්ලොග් අඩවිය සහ තවත් බ්ලොග් අඩවියක් තාක්ශනික දේ ගැන ලියන්නට පටන් ගත්තේ විශ්ව විද්‍යාල සිසුවෙක් විදිහට UCSC සෙවණට ආවට පස්සේ. තමාගේ බ්ලොගයෙන් ‍තමන් නොදැනුවත්මවම තමාගේ අතිශය විශාල පරාසයක් නිරාවරණය කරන නිසාවෙන් තමන් ගැන නැතත් වැඩූ දෙමාපියන් ගැන සිතා දෙයක් ලිවීම කල යුතුයි. අනික මේ හැම එකෙක්ම අදාල වෙන්නේ බ්ලොග් එකේ තමන්ගේ ඇත්ත නම ගම දාගෙන ලියන අයට විතරයි.
අනිත් දේ තමයි කවි ලියන්න නිමිත්තක් හැම වෙලේම එන්නේ නැහැ. ඒක බලෙන් අරගෙන ලිව්වොත් බිහි වෙන්නේ බොහොම කෘතීම නිර්මාණයක්. අරකෙන් මේකෙන් බ්ලොග් එක එලියට විසිවෙයි කියල බයෙන් කවි ලියන්නත් හොද නැහැ. කවියක් ලිවිය යුතුම හෙයින් බොරු ආවේගයක් ආදේශ කර ගැනීම හෝ තමා විසින් බලෙන් තමාවම විරහවක් තුලට ඇද දමාගෙන කවියක් ලිවීමත් වැඩක් නැහැ. මොකද ඒ කවි වල ඒ ව්‍යාජත්වය පිළිබිබු වෙනවා. ඒ වගේම මම වගේම ගොඩක් බ්ලොග් කියවන්නන්ට එවන් බ්ලොග් හාස්යෝත්පාදනය කරනවා. මොකද එතන වෙන්නෙ බොරුවක් කියල ඕනිම කෙනෙක්ට තේරෙන නිසා(එහෙම නොතේරෙන අයත් ඉන්නවා).  කොහොම උනත් හැම ජාතියකම දේවල් තියෙන්න ඕනි. මොකද දැන් විශිෂ්ට කවියෝ බ්ලොග් අවකාශයෙන් බිහි වෙලා ඉන්නවා. ඒ කෙනෙක්ගෙ කවියක් කියවල කම්පනය වෙන හිත සැහැල්ලු කර ගන්න මොකක් හරි තියෙන්නත් ඕනිනේ. තම තමන්ගෙ වන්සෙ තම තමන් එලියට දාන්න, රෙදි හෝද ගන්න, බ්ලොග් හොද මාධ්‍යක්. ඉතින් මම ඒකයි‍ "ආදරය ගැන කවි ලියන්නත් එපා...එයාගෙන් ලේන්සු ඉල්ලන්නත් එපා" කියල අමුතු විදිහට පටන් අරන් අමුතු කතාවක් සරල බාසාවෙන් කිව්වේ.

Friday, August 6, 2010

නිදි කුමරියට කතා කරන්න

අඟල් තුනක් උස පිරිමියෙක් සාමාන්‍ය ප්‍රමාණයේ නිරුවත් ගැහැනියක් ඉදිරිපිට කුමක් කරයිද? මේ ගැටළුවට පිළිතුරක් අපිට දකින්න පුලුවන් අල්මොඩෝවාර්ගෙ (Almodovar) සිනමා ‍පටයක. Talk to Her නම් මෙම චිත්‍රපටයේ එක් ප්‍රධාන චරිතයක් නරඹන නිහඩ චිත්‍රපටයක් හරහා උක්ත ගැටලුවට අල්මොඩෝවාර් සපයයි. එහි තම විද්‍යාඥ පෙම්වතිය සොයා ගන්නා රසායන ද්‍රව්‍යයක් බලෙන් පානය (ඇයගේ නව සොයාගැනීම ඹහු සතුටට පත් නොකරන නිසා) කරන පෙම්වතෙකු කෙමෙන් කෙමෙන් කුඩා වී ගොස් අඟල් තුනක ප්‍රමාණයට පත් වෙයි. ‍මෙහි තම නිදා සිටින පෙම්වතියගේ(සාමාන්‍ය ප්‍රමාණයේ) නිරුවත් සිරුර මතට ගොඩවෙන මෙම ගිණිකූරු ප්‍රමාණයේ පෙම්වතා පළමුව අතිශය ප්‍රහර්ශයකට පත් වන අතරම ඉන්පසු ඔහු ව්‍යාකූලත්වකට පත් වේ. අවසන ඔහු තම නිදා සිටින පෙම්වතියගේ රහසඟ තුලට ඇවිද යයි ඉන්පසු සදහටම ඇය තුල අතුරුදහන් වේ. චිත්‍රපටයේ මෙම කොටස සාහසික, ලිංගිකමය සහ සංවේදනවාදී මෙන්ම කාව්‍යාත්මක බවක්ද දරයි. මෙම කොටසින් අල්මොඩෝවාර් ස්වභාවික තලයකදී අතිශය පෞරුෂත්වයක් දරන ගැහැනිය ඉදිරියේ පිරිමියා කුඩා වී ගොස් ලිංගිකමය සාධකය ඉදිරියේ ඔහු ඇය තුල සැඟව තමා සම්පූර්ණයෙන් අහිමි කර ගනියි වැනි අදහසක් ලබා දෙනවා විය හැක.
මෙම චිත්‍රපටය කෝමා තත්වයට පත් තම ගැහැණුන් දෙදෙනෙක් තම ජීවිතවල වඩාත් වැදගත් සාධකය කර ගත් පිරිමි දෙදෙනෙක් වටා වර්ධනය වේ. බෙනින්ගෝ සහ මාර්කෝ මෙම පිරිමි දෙදෙනා වේ. බෙනින්ගෝගේ නිදි කුමරිය අලීසියා වන අතර මාර්කෝගේ නිදි කුමරිය ලයිඩියා වේ. මෙම ප්‍රස්තුත දෙක සමානත්වයක් දැරුවද එහි අන්තයන් ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ඇදී යයි. උක්ත නිහඩ චිත්‍රපටය මෙන්ම නිහඩ මෙම ගැහැනුන් දෙදෙනා ඉදිරියේ මෙම පිරිමි දෙදෙනා (ඔවුන් එම ගැහැණුන්ට පෙම් කලද) ඔවුන්ගේ පැවැත්ම ගැහැනුන් දන්නේ නැත. නමුත් තමා වටා අවකාශයේ සම්පූර්ණ පාලනය ඇස් තදින් වැසී තිබුනද මෙම ගැහැණුන් සිදු කරයි. තමාගේ ඇය මත තම ජීවිත අර්ථනය කරන මොවුන් විසින් අවසන ඇය තුලම තමා අහිමි කර ගැනීමක් සිදු කර ගනියි.

Thursday, August 5, 2010

පැණි උණ්ඩ වෙඩි තියන සමනල දඩයක්කාරයා!


මිරිඟුවක්

අස්සෙ
වතුර හොයන
පැණි උණ්ඩ
වෙඩි තියන
සමනල
දඩයක්කාරයා

අසරණ
සමනල
මනාල
දඩයක්කාරයා
නුඹේ
එල්ලය දියාරුයි
පැණි වාශ්පෂීලීයි

කනාවට
වෙඩි වැදුන
සමනලයත්
පැනල යනවා
පැණි
වාශ්ප උනාම

වෙඩි තියනවා
අසරණ නුඹ
වෙලාවකට
කලු දෙබරුන්ටත්
සමනලයො
වගේ එන

දාගන්නවා
වත්තට
රටේම ඉන්න
සමනලයො
සමනලයො වගේ
ඉන්න උන්
ඔක්කොම

යනව පැණි උණ්ඩ
චැට් එකෙන්
ඒ කොනට
මේ කොනට

පරදිනව සෙල්ලම
හැමදාම
නිදියනවා පාන්දර
හැමදාම
මූණ පොතක්
කරගෙන
ඒත් යනවා
හැමදාම
මූණු පොත
පෙරලන්න
මූණේ දැලි
ගාගන්න
හැමදාම

පැණි උණ්ඩ
වෙඩිතියන
මිරිඟුවෙ
වතුර හොයන
අසරණ
තනි උන
සතුට හොයන
අතෘප්තිමත්
මෝඩ
සමනල
දඩයක්කාරයා.....

Sunday, August 1, 2010

ශිෂ්ඨාචාරයෙන් බැටකන ආදරයක්


මම
හිස් තැනක්
හරියට නිල්
අහස වගේ
මම
බලා ඉන්නේ
පොළව දිහා
ඒ අය පිරිලා
වගේ
මට පේනවා උඩට
ඉතින්
මම ආසයි උන්ට
මම ආදරෙයි උන්ට
ඒත්.....
වළාකුලූ
පිරිල
බෑ හරියට ආදරය කරන්න
වචන පිරිච්ච වළාකුලු
තහනම් කරල
ආස වෙන්න නුඹට
ආදරේ වෙන්න නුඹට
ඒ තමයි
විකෘතිය

මම කැමතියි
මේක කොම්පියුටර් ගේම්
එකක් වෙනවනම්
මට ඕනි දෙයක්
කරන්න පුලුවන්.....
මට ඕනි වෙලාවට
මකරත් එක්ක
මකර ගුහාව
අල්ල ගන්න පුලුවන්.....
මම කැමතියි
ඒක වෙන වීරයෙක් ඇවිදින්
කඩල යනවනම්
දුක නැතිව
අපරාදෙ කියල හිතන්න
ඒත් මේ
ඒක නෙමෙයි
මේ වෙන සංදර්භයක්
ඇඟ එපා කියන
හදවතක් වගේ.....
දාල යන්නම හිතෙන
ඒත් යන්න බැරි
හරියට
හෙරොයින් වලට
ඇබ්බැහි උණා වගේ
අවිධිමත් ලිංගික හැසිරීමකට
හුරු උණා වගේ
නවත්තන්න ඕනි
නවත්තගන්න බැරි.....
නාගරික නොවන
ග්‍රාමීය නොවන
නරුම
උප සංස්කෘතිය
තර්ක වළාකුලු
න්‍යායික වළාකුලු
නුඹට දෙන්නත් බෑ
මට ගන්නත් බෑ

මම අවාසනාවන්ත සන්‍යාසියෙක්
සැරිසරන්න දෑස් නොපෙනෙන
නුඹ අවාසනාවන්ත පරමාණුවක්
ඉලෙක්ට්‍රෝන ගන්න පරමාණු නැති

කලිනුත් මම
වැට බැදල තියෙනවා
මකර ගුහාව වටේ
ඒත්
මකර ගුහාවෙ සැතපිල
මකරගෙ ගින්නෙන්
උණුහුම් වෙන්න
මට බැරි උණා.....
නුඹයි
මමයි
අතරෙ තියෙන
තිමිර පටලය
වළාකුලු
ගොරොවලා වැස්ස
මකරගෙ ගින්න නිවුනා
උගෙ ගුහාව මගෙ
ඇඟට කඩන් වැටුන
මකර පැනල දිව්ව
මමත් පැනලා දිව්ව
හෙළුවෙන් පාර දිගේ
වැස්ස වලාහක දෙයියො
ගෑනු කකුල් දෙකක් අස්සෙන්
ඔළුව දාල
මට
හූ..... කිව්වා
ඒක තමයි
විකෘතිය
ප්‍රකෘතියට හූ කියන

නුඹයි-මමයි
ලෝක දෙකක
ඒත් එකම
මානසික තලයක
ඒ තමයි ප්‍රකෘතිය
නුඹ කුමරියක්
මම කුමරෙක්
පරණ කතාවම නෙමෙයි
කුමාරි වගේම
කුමාරයත් හිරවෙලා
එක්ටැම් මැදුරක
දෙන්න දෙන්න දිහා
හොරෙන් බලනවා
හරියට
සලා බලනවා වගේ.....
නුඹ
රන් කෙස් නැති කුමාරි
මම
අස්සය නැති කුමාරය

ළං වෙයිද
අපි
වෙන්වෙනව ඊට පස්සේ
සත්තයි
ඒත්
ළං වෙයිද අපි.....
පැනල යමුද
ප්‍රකෘර්තියට
ඒත් කොහොමද
මාත් හිරකාරයෙක්
නුඹත් හිරකාරියක්
භාශාත්මක දැල්
අපිව වෙලල ගැටගහල
කුරුසෙ තියල ඇණ ගහල
දෙපැත්තේ හිටවල වගෙ.....
හැම තත්පරයක්ම ගතවෙන
වේදනාවයි
ඒත් එක්කම දැල්වෙන
බලාපොරොත්තුවයි
විතරයි
ළං වෙන්න බෑ.....

අපි ළං වෙන්න
ඩයිනෝසර්ල මැරුව වගෙ
කෝටි ගුණයක පිපිරුමක්
වෙන්න ඕනි
මේ
පවුරු දැල් දම්වැල්
ඒතරම්ම හයියයි
ඇටකුණා වෙලා.....
නැත්නම්
කාලය හරහා
මිලේච්ච යුගයටත් එහා යුගයකට
ඒප්ස් වානරයටත් එහා යුහයකට
ලිස්සන්න ඕනි
එතකොට එක්වේවි
අපි.....
ආසා වෙමු එකිනෙකාට
ආදරේ කරමු එකිනෙකාට
ප්‍රකෘතියේත් ප්‍රකෘතියේදි
ඒත්
හොයා ගන්නකොට
කාල යන්ත්‍රයක්
මේ ඉන්න අපි
මැරිල ඉදීවි.....





Friday, July 30, 2010

පරිස්සමින් මාරු වෙන්න


හා හා පරිස්සමින්
නිමිති කියන් හූණු හාමි
බිළිදෙකු මෙන් හඩමින්
සුරතල් අපෙ පූස් හාමි
වල්ගෙ වනයි නුඹ සොයමින්

කන්ටත් නැතුවම හරිහැටි
පිම්බුනෙ ඔය බඩ පොඩිත්ත
නිමිතිකරුවෝ දෙන්නද තව
විද්‍යාවේදී අප හට
නිමිති නැතුව ඉවෙන් ඉන්න
ඒත් අපේ පූසගෙ ඉව
කැරකෙනවා නුඹ අසලම

සිනිඳු ලොමින් වැසී තිබෙන
අපෙ පූසගෙ බංඩි ගෝලෙ
පිරවෙනවා අද නිසැකව
නැඟුවොත් නුඹ නිමිති හඬක්

සුරකෙන්නට නුඹෙ පණ නල
ලෝ දකින්න නුඹෙ පැටු රැල
දුරු රටකට පැනලා පල
වෙයි වත නුඹෙ ආගන්තුක
නැතිව නිමිති සද්ද බද්ද
මවක් වෙන්න ලේ කිරි වන

Thursday, July 29, 2010

ශාන්ත ප්‍රෝඩාව


ශාන්ත ගමනකි
පහතට නැමුණු මුඩු හිසකි
ඉතිරින් වෙත රැඳි දඟලන දෑසකි
අතපය සන්සුන් ඉරියව් වලමය
තඩි සිරුර වසාගත්
දිලිසෙන සිවුරකි
සිවුරේ රැලි දහසකි
එයිනෙක රැල්ලක්
නළලේ නැතිමය

හතර කේන්දර
පාලු නිසාවෙන් 
කුස්සියේ හැළි වළං
හීරුණු නිසාවෙන්
අසරණ වූ දිවිය රැක
සුර සම්පත්ති ලබා දුන්
දිව්‍ය විමානය
කසාවන් සිවුරු පොට

වාසයට ආ ගෙයි
බිතු වසයි විස්කි රාක්කය
වා කවුළු හරහා ගලයි
දුම් වලළු ගඟන තලයට
ටෙලිවිශන් රාජයා
වැඩලාය නාන මැදුරට
ආමිසයෙන් බෝ රුක මුල
මොන්ටෙරෝ, ඩබල් කැබ්
අහා සැපයි ජීවිතය
පෝය දාට චැනල් එකේ

පැන්නෙන් කම් සැප වෙතට
නිර්වාණ මඟෙහි සිට
සිහිනයක් විය
නිර්වාණ සම්පත්ති
කම් නැත මේ භවයේ
කසා වතේ
රාජාධි රජුන් වෙමු



සුසන්ත


කොල්ලෙක් මැරිලා
රුහුණේ.....
ගහල පොලීසියෙන්
කඩේ යන පොලීසිය
නැහැ.....
ගහල අන්තරෙන්
කඩේ යන අන්තරේ

රතු පාටින්
කලු පාටින්
පත්තර බිත්ති පුරා
හෙඩ් ලයින් එක
සුසන්ත

සිසුවෙකි
සොයුරෙකි
විරුවෙකි
සුසන්ත

මාකට් කරන්න
මාකට් වෙන්න
මැරුණා උඹ
සුසන්ත

දන්නවා දැන්
මුළු රටක්
කීවොතින් නම
සුසන්ත

නුඹ.....
පැතුවේ ජීවිතයෙන්
එයද
සුසන්ත?
මරණයෙන්
මාකට් වෙන්න?
නැත්නම්
සරල සාමාන්‍ය
මිනිහෙක් වගේ
ජීවිතය විඳල
ජීවිතය විඳවල
රහසේම
මැරිල යන්නද?

හදවතට සමීපයි
නුඹ මගේත්
මරා දැමුනු
නිසාවෙන්
සුසන්ත

පැතුවේ
ජීවිතයෙන් නුඹ
මෙවන් නික්මීමක්නම්
නුඹේ පැතුම්
ඉටු වූ නිසා
සතුටුවන්නට තිබුණා.....

පැතුවේ
ජීවිතයෙන් නුඹ
වෙන යමක්නම්
නුඹේ පැතුම්
ඉටු නොවූ නිසා
දුක් වන්නට තිබුණා.....

නුඹේ පැතුම්
කියන්නට
නුඹ නැත
සංදිග්ධයි මට
නුඹ
සුසන්ත

සතුටක් නොදෙන
දුකක් නොදෙන
හිස් හැඟීමක්
මට නුඹේ
නික්මීම
සුසන්ත.....