Pages

Friday, March 26, 2010

මගේ ඇය - She

මම නිකන් ඉන්න ගමන් හිතේ පැටලිලා තියෙන මකුළු දැල් ටිකක් ඇර ගන්නත් එක්ක බ්ලොග් බල බලා ඔහේ ඇවිද්දා. මෙන්න එක පාරටම තියෙනවා නදීක ගුරුගේගෙ සින්දුවක් ගැන. මම කාලයකට කලින් හරිම ආසාවෙන් අහපු සින්දුවක් ගැන. ඒකෙ ලියල තිබුන දේවල් මොනවා උනත් මට එක පාරට හිතට ආවෙ "නදීකගේ වේදිකාවේ සින්දුව youtube තියෙනවා!!!" කියන එක. ඉතින් මම ගිහින් ඇහුවා. මීට කලින් අවුරුද්දකට කලින් විතර ඇහුවට වඩා ලොකු feeling එකක් මේ සැරේ දැනුනා. සමහර විට එදා මම හිටියට වඩා වෙනස් ම්නුස්සයෙක් වෙලා නිසා වෙන්න ඇති. ඉස්සර මම මේ සින්දුව අහපු කාලේ මට මතකයි. ඒ කාලේ හරියට මගේ ජීවිතේ සංක්‍රාන්තික සමයක් වගේ. ඊට කලින් ජීවිතේ නිකන් Benz එකක යනවා වගේ. ඒත් ඊට පස්සෙ...... ජීවිතේ හරියට Tennis Game එකක Tennis බෝලේ වගේ. එක පැත්තකින් තැලිලා පොඩි වෙලා තව පැත්තකට වීසි වෙනවා. සාමාජය කියන Tennis court එකේ හැම අහුමුල්ලකටම වගේ වීසි වෙනවා (උපමාවක් ගත්තට මොකෝ දැනනම් හිතෙනවා මට තියෙන්නෙත් ටෙනිස් බෝලෙක ඉරණමද කියල). සමහරවිට මම ඇස් නොපෙනෙන සන්‍යාසියෙක්ද දන්නේ නැහැ.
ඔන්න මම සින්දුව අහගෙන යනවා.
ඉතින් ලස්සන, සරල සංගීතයක් head phone එක දිගේ මගෙ කනට එනවා. ඒ සංගීතය මාව නිකන් 16 වෙනි සියවසට අරන් යනවා වගේ. විශේෂයෙන්ම බටනලාව (මොකද මම ඔය වගේ flute parts අහල තියෙන්නේ රජ කාලේ ගැන හදපු Hollywood films වල). මොනවා උනත් මාව සින්දුව එක්ක තදාත්මීකරනය කරන්න ඒ music වලට පුලුවන් උනා.
ඔන්න වචන........
වේදිකාවේ අසුනකට බර වී
දහසක් නෙතු අතරේ අතරමං වී
සිංදුවේ වචනත් එක්ක මගේ හිතත් හරි හරියට හැප්පෙනවා (සමහරවිට මගේ හිත සිංදුවේ අනුභූතිය මගේ ජීවිතයත් එක්ක ගලප්පන්න හදනවද?) .හ්ම්.....ගොඩක් ප්‍රේක්ෂකයෝ ඉන්න නාට්‍යාගාරයක නාට්‍යක් බලනවා වගේ. නැත්නම් එකිනෙකා නොහදුනන විශාල සමාජයක පුංචි මිනිස්සු වෙලා ඉන්න එකද?
ආදරේ කියා දෙන්න බෑ
රෝමියෝ...........
ඔව් ඇයයි මමයි දස දහසක් ඇස් අතරේ අතරමං වේලා ඉන්නේ. අළුත් රටක. කවුරුවත් අපිව නොහදුනන. අපි සැරි සරන මං මාවත් ජනාකීර්ණයි. ඒත් කවුරුවත් අපිව අදුරන්නේ නැහැ. මම රෝමියෝ කෙනෙක් ඇය ජුලියට්ද නැද්ද කියන එක ඇගේ වැඩක්. ඉතින් මේ රෝමියෝ දහසක් නෙතු අතරේ ඇයත් සමඟ අතරමං වෙලා ආදරේ කියල දෙන්න හැදුවා. රෝමියෝට පුලුවන් හැම විදිහකටම වගේ. එත් රෝමියෝ කවදාවත් ඇයව වචන වලින් අර්ථකතනය කරන්න හැදුවෙ නැහැ. රෝමියෝ ලස්සන, ලොකු වචන ගබඩාවක් උනත් ඒ ගබඩාව ඇය වෙනුවෙන් පාවිච්චි කලේ නැහැ. රෝමියෝ ආදරේ පෙන්නුවේ වෙනස් විදිහකට. ඒත් ඇය ඒක වටහා ගත්තද? ඒකත් කොයි වෙලේ හරි ඇයම කියයි. කොහොම උනත් රෝමියෝ තමන් ආදරේ කරන විදිහ කියපු කවියක් ඇයට දුන්නා මූණු පොතෙන්, ඇයත් ඒකට reply කරලා තිබුනා. කවියෙන් කියවෙන්නේ මම ආදරේ පෙන්නනේ වචන වලට වඩා මම කරන වැඩ වලින් කියන එක. මෙන්න එයාගේ reply එක,
saying I do
is more than beyond words we say
saying I do
is holding our true loves hand forever
saying I do
is the eternal love for our sweet hrt
and here I am saying "I DO"
for t be with u love u till the life goes...
ඔන්න මම සිංදුවෙන් ඈතට යනවා (කොහොමත් මම කතා කරන දේ සිංදුවෙන් ඈතයි තමයි). සිංදුව ගලාගෙන යනවා එක අක්ෂයක. හරියට ප්‍රස්ථාරයක ‍x අක්ෂය වගේ. හිත වෙනම අතකට විහිදෙනවා ඒ ප්‍රස්ථාරයේම y අක්ෂය වගේ. එතකොට මම මේ ලියන දේ ප්‍රස්ථාර රේඛාවද? එකම ලක්ෂයකින් පටන් අරගෙන තිරස්වයි, සිරස්වයි ගමන් කරන මගේ හිතයි, සිංදුවයි එකම රේඛාවකට ගන්න දරන උත්සාහයක්!.
ශිෂ්ටාචාරේ මානවයා හා
ශිෂ්ටාචාරේ ගැහැනී
එක්වෙලා........
රෝමියෝ සහ ජුලියට් නම් ශිෂ්ටාචාරේ ගෑනු-මිනිස්සු. ඒත් ඇයයි-මමයි? ඔව් අපිත් ශිෂ්ටාචාරේ මිනිස්සු එත් හැම ideal එකක්ම කැඩිල බිදිල ගිය ශිෂ්ටාචාරයක. මම ශිෂ්ටාචාරගත රෝමියෝ කෙනෙක්ද? ඇය දෛව ස්ත්‍රියක්ද?
නැහැ ඇය බොහෝ විට මගේ ගැහැනිය. ඒත් ඇය ඉස්සරහා පිරිමින් ඉටි පන්දමක් ඉස්සරහා පිච්චිලා අළු වෙනවා මම දැකලා තියෙනවා. එහෙම අළු නොවෙන එකම පිරිමියත් මම කියල මම දන්නවා. ඇයම මට දුන්නා පොතක්. රයිඩර් හැගාඩ්ගේ අයේශා (ඇගේ ප්‍රියතම පොත). මට ගිය ඇය සතියේ දුන්නා ඒ කතා මාලාවේ අන්තිම එක "අයේශා ආපසු එයි". අයේශා ආදරය කරන්නේ එකම පිරිමියෙකුට විතරයි. මුළු සංසාර ගමනේම ඇයගේ අරමුණ වන්නේ ඔහු ඇය ලඟින් තබා ගන්න එක. ඈ දකින හැම පිරිමියෙක්ම ඇයට ආදරය කරනවා, ඇයව පතනවා නමුත් ඇගේ ආදරය හිමි වන්නේ එකම එක පිරිමියෙක්ට විතරයි. නමුත් ඇය පසුපස කුහුඹුවන් මෙන් එන හැම අනෙක් පිරිමියෙක් ලවාම ඇයට වන්දනාමාන කරව ගන්නවා. අයේශා දෛව ස්ත්‍රියක් නෙමෙයි. ඇයත් ගැහැනියක් ඒත් ඇය අනෙක් ගැහැනුන්ගෙන් වෙනස් වෙන්නේ ඇය සතුව අසීමිත බලයක්, රූපයක් පැවතීම.
මගේ ඇය රයිඩර් හැගාඩ්ගේ "She" කියල මම කියන්නෙ නැහැ. ඇය මගේ "She". ඇයයි මමයි අතරේ වෙන අමුතු ආදර කතාව අතිශයින් සාම්ප්‍රදායිකත් නැහැ අතිශයින් නූතන හෝ පස්චාත් නූතනත් නැහැ. ඒත් අපි ගමන් කරන්නේ ශිෂ්ටාචාරයේ මාර්ගයේ නම් නෙමෙයි. ඒ මාවතට සැතපුමක් විතර එහායින්. නමුත් අනිවාර්යෙන් අවසානය සාම්ප්‍රදායික වෙයි.
ඔන්න ආයෙත් සිංදුවේ අලුත් වචන ටිකක් යනවා,
ශිෂ්ටාචාරේ මානවයා හා
ශිෂ්ටාචාරේ ගැහැනී
එක්වෙලා........
අනාගතේ ඉතිහාසය ගොඩ නඟනා දා
වැගිරෙයි දිය වී ආදරේ
රෝමියෝ.......
ඇයයි මමයි දෙන්න මොක නියෝජනය කරන ගෑනු මිනිස්සු උනත් අපි දෙන්නම මේ කරමින් ඉන්නේ අනාගතයේ ඉතිහාසය ගොඩ නඟන එක. ඔව් අනාගතය ගැන හිතල සාම්ප්‍රදායික විදිහට මගේ පැත්තෙන් ගත්තොත් සාම්ප්‍රදායික බිරිඳක් ඇගෙන් හදන්න කියල අද ජීවිතේ වෙනස් කරන්න තතනනකොට ආදරය දිය වෙනවා. ගොඩක් අයට ඕක වෙනවා. ඒත් මට ඇය ඕනි ඇය විදිහට කියල මම තේරුම් අරන් ඉවරයි. එක සැරයක් දිය උන ආදරය දැන් දැන් තිබුනටත් වඩා හයි වෙනවා කියලනම් තේරෙනවා. තමන්ගේ ආදරය කොච්චර වටිනවද කියල තේරෙන්න ඒක මොහොතකට හරි නැති වෙන්න ඕනි.
දෙතොලේ ඔබේ රැදී දහසක චුම්බන පිසදා
කොපුලේ ඇගෙ තැවරුනු දහසක ඛෙටය පිසදා
සිපගනිම් දහසකුත් පලමු නැවුම් චුම්බනයෙන්
සිංදුවයි මගේ හිතයි වෙනම අක්ශ දෙකක. ඒක වෙලාවක මම නොකල භාශාත්මක ආදරය පෙන්වීම හරහට හිටිය. හිස් අවකාශයේ කැරකි කැරකි තිබුන ගොඩක් වචන ඇයව ස්පර්ශ කලා. ඇයට භාශාත්මක මාෆියා කණ්ඩායමක් පහර දුන්නා. මේ සිංදුවේ ඉන්න ගැහැනියගේ කොපුලේ තැවරුනේ ඛෙටය මොකද එක වෙනම සන්ධර්භයක් නිසා. නමුත් මගෙ ඇගේ කොපුලේ අපේ ආදරයේම ලේ තැවරුනා වචන වලින් වෙඩි වැදිලා. මම ඒ ලේ පිස්සා ශාරීරිකව. තුවාලත් ගොඩාක් දුරට සනීපයි, දැන්නම් සම්පූර්නයෙන්ම වගේ සනීපයි. ඒත් අර වචන වල පතුරොම් කොපු හැම තැනම. පළමු නැවුම් චුම්බනය!!!! ඒකනම් මාව අවුරුදු එකහමාරකට වඩා අතීතයකට එක්කගෙන යනවා. තත්පර ගානකදි උන ඒ දේ මුලු ජීවිතය වෙනුවෙන්ම කරපු ලස්සන මතක ආයෝජනයක්.
ගොඩගනිම් ආයෙමත් මැද ඉදන් ජීවිතේ
රෝමියෝ...........
මේකනම් මට නදීක මගෙ කනට කරල මටම කිව්ව වගේ. ඔව් ජීවිතේ මම ගොඩගත්තා මැද ඉදන්. ඒත් ඒ ගොඩ ගත්තු ඔක්කොම උස්සගෙන යන්න බැහැ. ඒ නිසා ඇයත් මමත් ඉක්මනටම ඒවා අයෙත් අතීතයට වල දානවා. මොකද ඒ ගොඩ ගත්තුවා අතරේ කොඩිවිනයකුත් තියෙනවා!!!. ඇය මාව සොයා ගත්තා නමුත් මම ඇයව තම සොයනවා. අයේශාව හොයා ගන්න ලියෝට අවුරුදු 16කට වඩා යනවා. ඒත් මම මගේ "She"ව ඉක්මනටම හොයා ගන්නවා. සියල්ලෝම දැන ගත යුත්තේ ඇය මගෙ ඇය මිසක් වෙන කිසිම නාට්‍ය චරිතයක් හරි නවතකා චරිතයක් නොවෙන බව.
මේ මම ලිව්වේ සිංදුව අහගෙන යනකොට මගෙ හිතට ආපු හැගීම් කන්දරාව. මම නරක රසවතෙක්. මම හිතන්නේ මම මේ සිංදුවත් එක්ක මගෙ කතාව ගලප්පන හැදුවට මේ දෙක කවදාවත් එකක් නොවෙන ප්‍රතිවිරුද්ද දිශා වලට ගමන් කරන ප්‍රස්තුත දෙකක්. මම මට ලියන්න ඔනි දෙයක් ලියන්න මේක නිමිත්ත කර ගත්තා. කොහොමත් අමුතු වැඩක් නේද?. ඇයගේ උත්තරය මම බලාගෙන ඉන්නවා.

9 comments:

  1. Man friend post tava kiyavva naha dan tame kiyavnna

    ReplyDelete
  2. you have a strange language. Keep it up. good

    ReplyDelete
  3. @Anusha ස්තුතියි කොල්ලෝ!!!
    @Anonymous: thanks, your comment is like a drop of water to my blog

    ReplyDelete
  4. මමත් කැමතිම ගීතයක් මේක. මගේ මිත්‍රයෙක් හිටියා නදීක ගුරුගේ පිස්සෙක් එයා. එයා මගින් තමයි නදීක ගුරුගේ සහ ඔහුගේ නිර්මාණ අපට සමීප උනේ.
    මේ අප්‍රේල් 1 වැනිදා නදීක ගුරුගේගෙ ප්‍රසංගයක් එල්පින්ස්ටන්හි පැවැත්වෙන වගක් කියා තිබූ නිසා අපි උනන්දුවෙන් හිටියෙ යන්න. ඒත් අවාසනාවකට ඒක කල්ගියා කියල පස්සෙ දැනගන්න ලැබුණා.

    ආශාවෙන් කියෙවුවා මේ ලිපිය. ඔබට ජය.

    ReplyDelete
  5. @ Raven සමහරවිට ඔය කියන මිතුරාමද දන්නේ නැහැ මටත් නදීකගේ නිර්මාණ සමීප කලේ.... මටත් ආරන්චි උනා ප්‍රසංගය කල් ගිය එක ගැන

    බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට.

    ReplyDelete
  6. ඇය සොයා
    ගිරි දුර්ග පසුකර
    ගොසින් ඔබ ඇය
    සොයාගත් පසු
    කප් කලක් ඉන්නැයි
    සිතා යලි ඇය
    අමරණීය වෙන්න ගොස්
    අයේශාට වගේ උනොත්...?
    අනේ මම නම් ඒ ගැන බොහෝම දුක් වෙනවා..
    ලස්සනයි ලියලා තියනවා..
    ඔබට සුභපැතුම්....!!!!!

    ReplyDelete
  7. @nimanthi ආදරය කියන්නේ අහිමි වීමද මන්දා. බුදුන් වහන්සේ දේශනා කලේත් අපි අහිමි වීම හිමි කරගෙන උපදින සත්වයන් කියලා(එහෙමම දේශනා කලාද කියල්ලනම් දන්නේ නැහැ...ඒත් ඒ වගේ නේද?). අනික සහෝදරිය මම අයේශාව උදාහරණයට ගත්තේ අත කහනවට නෙමෙයි. හැබැයි මම අයේශා ආපසු එයි පොත තාම කියවනවා. ඒ නිසා මේක ලිව්ව මම අයේශාට අන්තිමට වෙන දේ දන්නේ නැහැ :D
    හැම කතාවකටම වගේ මේ කතාවටත් මොන විදිහක හරි අවසානයක් තියේවි.
    ඔබේ ප්‍රතිචාරයට ගොඩාක් ස්තුතියි!!!

    ReplyDelete
  8. ආදරේ හීනයක්ම වුනා..

    ReplyDelete
  9. Yes love is a beautiful dream. Sometimes it cannot be implemented in real world.

    ReplyDelete