Pages

Friday, July 30, 2010

පරිස්සමින් මාරු වෙන්න


හා හා පරිස්සමින්
නිමිති කියන් හූණු හාමි
බිළිදෙකු මෙන් හඩමින්
සුරතල් අපෙ පූස් හාමි
වල්ගෙ වනයි නුඹ සොයමින්

කන්ටත් නැතුවම හරිහැටි
පිම්බුනෙ ඔය බඩ පොඩිත්ත
නිමිතිකරුවෝ දෙන්නද තව
විද්‍යාවේදී අප හට
නිමිති නැතුව ඉවෙන් ඉන්න
ඒත් අපේ පූසගෙ ඉව
කැරකෙනවා නුඹ අසලම

සිනිඳු ලොමින් වැසී තිබෙන
අපෙ පූසගෙ බංඩි ගෝලෙ
පිරවෙනවා අද නිසැකව
නැඟුවොත් නුඹ නිමිති හඬක්

සුරකෙන්නට නුඹෙ පණ නල
ලෝ දකින්න නුඹෙ පැටු රැල
දුරු රටකට පැනලා පල
වෙයි වත නුඹෙ ආගන්තුක
නැතිව නිමිති සද්ද බද්ද
මවක් වෙන්න ලේ කිරි වන

Thursday, July 29, 2010

ශාන්ත ප්‍රෝඩාව


ශාන්ත ගමනකි
පහතට නැමුණු මුඩු හිසකි
ඉතිරින් වෙත රැඳි දඟලන දෑසකි
අතපය සන්සුන් ඉරියව් වලමය
තඩි සිරුර වසාගත්
දිලිසෙන සිවුරකි
සිවුරේ රැලි දහසකි
එයිනෙක රැල්ලක්
නළලේ නැතිමය

හතර කේන්දර
පාලු නිසාවෙන් 
කුස්සියේ හැළි වළං
හීරුණු නිසාවෙන්
අසරණ වූ දිවිය රැක
සුර සම්පත්ති ලබා දුන්
දිව්‍ය විමානය
කසාවන් සිවුරු පොට

වාසයට ආ ගෙයි
බිතු වසයි විස්කි රාක්කය
වා කවුළු හරහා ගලයි
දුම් වලළු ගඟන තලයට
ටෙලිවිශන් රාජයා
වැඩලාය නාන මැදුරට
ආමිසයෙන් බෝ රුක මුල
මොන්ටෙරෝ, ඩබල් කැබ්
අහා සැපයි ජීවිතය
පෝය දාට චැනල් එකේ

පැන්නෙන් කම් සැප වෙතට
නිර්වාණ මඟෙහි සිට
සිහිනයක් විය
නිර්වාණ සම්පත්ති
කම් නැත මේ භවයේ
කසා වතේ
රාජාධි රජුන් වෙමු



සුසන්ත


කොල්ලෙක් මැරිලා
රුහුණේ.....
ගහල පොලීසියෙන්
කඩේ යන පොලීසිය
නැහැ.....
ගහල අන්තරෙන්
කඩේ යන අන්තරේ

රතු පාටින්
කලු පාටින්
පත්තර බිත්ති පුරා
හෙඩ් ලයින් එක
සුසන්ත

සිසුවෙකි
සොයුරෙකි
විරුවෙකි
සුසන්ත

මාකට් කරන්න
මාකට් වෙන්න
මැරුණා උඹ
සුසන්ත

දන්නවා දැන්
මුළු රටක්
කීවොතින් නම
සුසන්ත

නුඹ.....
පැතුවේ ජීවිතයෙන්
එයද
සුසන්ත?
මරණයෙන්
මාකට් වෙන්න?
නැත්නම්
සරල සාමාන්‍ය
මිනිහෙක් වගේ
ජීවිතය විඳල
ජීවිතය විඳවල
රහසේම
මැරිල යන්නද?

හදවතට සමීපයි
නුඹ මගේත්
මරා දැමුනු
නිසාවෙන්
සුසන්ත

පැතුවේ
ජීවිතයෙන් නුඹ
මෙවන් නික්මීමක්නම්
නුඹේ පැතුම්
ඉටු වූ නිසා
සතුටුවන්නට තිබුණා.....

පැතුවේ
ජීවිතයෙන් නුඹ
වෙන යමක්නම්
නුඹේ පැතුම්
ඉටු නොවූ නිසා
දුක් වන්නට තිබුණා.....

නුඹේ පැතුම්
කියන්නට
නුඹ නැත
සංදිග්ධයි මට
නුඹ
සුසන්ත

සතුටක් නොදෙන
දුකක් නොදෙන
හිස් හැඟීමක්
මට නුඹේ
නික්මීම
සුසන්ත.....

Wednesday, July 28, 2010

....................


වී කරලක්
වී ඇටයෙන්
බර වන්නට බර වන්නට
පොළවට ළං වුවද
එක් සුළං රෑල්ලකින්
පොළවට සමතලා වී
කුණු වී යන්නේ කිම?

වැසි වළාවක්
ජල බිඳුවෙන්
පිරෙන්නට පිරෙන්නට
ධරණි තලයට ලං වූවද
එක් ආකර්ශණයකින්
පොළවට කඩාහැලී
පොළවේම සැඟවෙන්නේ කිම?

මිනිස් සංතානයක්
ගුණ, ණැනෙන්
පිරෙන්නට, බර වන්නට
වී කරලක්, වැහි වළාවක් මෙන්
නම්‍යශීලී විය යුතු නම්
හුදු සුළඟකින්, ආරෝපිතයකින්
ශූන්‍යත්වයට පත් විය යුතුද?

අසන්නෙමි පැණයක්
දෙනෙත් හැර පිලිතුරු දෙන්න
ගුණ, ණැන බෙලෙන්
සපිරි මිනිසා
වී කරලක්, වළාවක් මෙන්
එක් පහරකින්
ගුණ, ණැන බල
කැඩී බිදී
සමාජය තුළ සැගවී යත්නම්
ඔහු උපයා ගත්
ගුණ ණැහෙහි
ඵලදායිතාවය කුමක්ද?
එයින්
ඔහුටත්, සමාජයටත්
උන්නතියක්
කළ හැකිද?

සිසු දිවිය


පන්ති කාමර
ඩෙස් පුටු අතර
ගෙවමින් කොන්ක්‍රීට් ගෙබිම
දඩි බිඩි ගගා යයි අපෙ සිසු දිවිය

සෑහෙයි තෙදිනකට
එක පෑන් බටය
ගෙදර මේස තුනකම
පොත් හරි ගොඩකි
සටහන් ලියූ
පොත් පිටු දිය වෙයි
අතැඟිලි පහස ලැබ
හිස ඔබාගෙන
පොත් පිටු අතර
දඩි බිඩි ගගා යයි අපෙ සිසු දිවිය

ගිනි ගනියි මල් පෙති
ඩෙස් යටින් නහය වෙත
ලේ පිරුණු දික් ගැහුණු
බිය රැදි නෙත් ටිකක්
ගනිනවා කඩතොළු
ඩෙස් ලෑලි මත ඇඳි
නෙත් ගසාගෙන
පින්තූර පත්තර අතර
දඩි බිඩි ගගා යයි අපෙ සිසු දිවිය

ලියන්නට එක විචාරය
පිටු හයකට
නව දශක ගන්නට
වාර විභාගෙට
වන්නට ප්‍රථමයා
මුළු අංශයට
"A" තුනක් ගන්නට
සරසවි යන්නට
හරි තරඟයකි
එක එකා පරදන්නට

ගෑනු ගන්නට රෝන්දෙ යන්නට
ගුටි අනින්නට වල බහින්නට
බට අදින්නට ගුලි විකන්නට
සීඩී බලන්නට එය මාරු කරන්නට
ගුරුතුමී රවටන්න පන්ති කට් දමන්නට
හරි තරඟයකි එක එකා පරදන්නට

දහසකුත් එකක් දේ මැද
යන්නට අපෙන් කොටසක්
සරසවි ගෙදර ඉන්නට
යන්නට අපෙන් කොටසක්
මහ උළු ගෙදර තපින්නට
එකෙකු දිනද්දී
තවකෙකු පරදිද්දී
දඩි බිඩි ගගා යයි අපෙ සිසු දිවිය.