Pages

Wednesday, September 22, 2010

ආදරය ගැන කවි ලියන්නත් එපා...එයාගෙන් ලේන්සු ඉල්ලන්නත් එපා

"ආදරය ගැන කවි ලියන්නත් එපා...එයාගෙන් ලේන්සු ඉල්ලන්නත් එපා" ඔය දෙකම මම මගේ ජීවිතයේ වෙනස්ම අවධි දෙකකදී අවවාද විදිහට අහන්න ලැබුන ඒවා. තමන් ආදරය කරන කෙනාගෙන් ලේන්සු ඉල්ලපුහාම ඒ සම්බන්ධය කැඩෙනවා කියල මට හැඟීම් එන කාලේ ඒ කියන්නේ නමය වසරේදි විතර කවුරු හරි මම ඉස්කෝලේ අයියා කෙනෙක්ගෙන් අහපු කතාවක්. ඒ කාලේ තමයි මම love සහ making love ගැන investigation කරන්න පටන් ගත්ත කාලේ. ඉතින් ඕනි එකෙක් කියන ඕනිම කුනු කන්දලයක් අහගන්නවා. ඒ කාලේ අහපු වැදගැම්මකට නැති කතා කෝටියක් ඇතුලේ මට අද වෙනකොට ඒ කියන්නේ අවුරුදු විසි ගනන් වෙනකොට මතක "එයාගෙන් ලේන්සු ඉල්ලන්න එපා!!!" කියල කියපු එකක් විතරයි. ඒක මම විශ්වාස කරන්නේ නැහැ. ඒත් මොකක් හරි හේතුවක් නිසා මගේ හිතේ ඒක තියෙනවා. ආහ්......මම අද ලියන ආඛ්‍යානය වෙනස්. සරලයි. මොකද මේ ලියන දෙය මට බරට ගන්න කැමති නැති නිසා. ඒ ඇයි කියල මම කියන්නම්.


ලේන්සුව කියන්නේ කුළුදුල් ආදර සංස්කෘතියේ මාර වස්තුවක්. "එයාගෙන් ලේන්සු ඉල්ලන්න එපා" කියල මම අහපු කාලේ මම ඔය දේවල් අවිධිමත් විදිහට ඉගෙන ගත්ත කාලේ කියල කියමු. අවිධිමත් කියන්නේ ඔය වීඩියෝ එකක්, පත්තරයක්, නවකතාවක්, කාගෙන් හරි අහගෙන, හින්දි චිතපටයකින් කච් කුච් හෝතා හේ උන කාලේ. හැමෝටම තියෙනවා එහෙම කාලයක් උපරිම අලයෙක්ට ඇරෙන්න. ඒ කාලේ හිතේ පුරව ගත්ත ලට්ට ලොට්ට වලින් ඇයි මේක විතරක් මම අවුරුදු විසි ගණනක් වෙලත් මතක? හිතන්න ඕනි දෙයක්. ඒත් මම කියන දෙයක් තමයි මම මාවම අර්ථනය කරන්න කැමති නැහැ කියන එක. කොහොම හරි ලේන්සුව කියන එක මගේ ආදර කතාවෙ වැදගත් සාධකයක් උනේ නැහැ. මම එයාගෙන් එයාගේ සුවද තවරපු ලේන්සුවක් ඉල්ලගෙන ඒක නහය උඩ තියන් ඉදලම නැහැ. මොකක්දෝ දෙයක් මා ලව්වා ඒ දේ කෙරෙව්වේ නැහැ. මම හිතන්නේ මගේ හිතේ කෙටිලා තියෙන "එයාගෙන් ලේන්සු ඉල්ලන්න එපා" කියල කියපු මට මෙලෝ මතකයක් නැති අයියා කෙනෙක් මගේ හිත් අවකාශයේ පුංචිම පුංචි අංශුවක අධිකාරිත්වය දරනවා වෙන්න ඇති .  
"ආදරය ගැන කවි ලියන්න එපා" මේක මට කියන්නෙත් අයියා කෙනෙක්. මම සම්බන්ධතා, ආදරය ගැන න්‍යායාත්මකව හදාරන්නේ මේ කාලේ. ඒ අවදිය මගේ ජීවිතයේ වෙනම පිටුවක්. අවුරුදු එකහමාරක්. ඒ කාලේ මම න්‍යායන් ගොඩක්, දාර්ශනිකයෝ නාමාවලියක්. ආදරය ගැන කිව්වොත් ප්ලේටෝගේ තත්‍ය ප්‍රේමයෙන් පටන් අරගෙන ඩෙරීඩගෙ විසංයෝජනයෙන් ආදරය විසංයෝජනය කරපු කාලයක්. මට කවමදාවත් අමතක නොවෙන මේ අයියා දවසක් කියනවා "මල්ලී කවදාවත් ආදරය කවියක් විදිහට ප්‍රකාශණය කරන්න එපා" කියල. ඇයි? මම හිතන විදිහට කවියක් කියන්නේ අපි ජීවිතයේ අත් විදින යම් අනුභූතියක( අත්දැකීමක් ) නිසා ලද කම්පනයක් වචන කිහිපයක් තුලින් ප්‍රකාශණය කිරීමක්. මේ විදිහට ඕනිම කලා මාධ්‍යක වෙන්න පුලුවන්. හැබැයි විශේෂත්වය වෙන්නේ කලා නිර්මාණය සාර්තකනම් නිර්මාපකයා තමා ලැබූ අත්දැකීමෙන් ලද කම්පනයෙන් මිදෙන්න ඕන, ඒ සියළුම කම්පනය කලා නිර්මාණය තුළ ගැබ් වෙන්න ඕනි. ඒ කලා නිර්මාණය රස විදින සහෘදයාද ඒ අයුරින්ම එකී කම්පනය අත් විදින්න ඕනි. කවුරු හරි පිටු දාහක නව කතාවක් ලියල අත්දැකීමකින් හෝ රාශියකින් ලද කම්පනය අතික්‍රමණය කරනකොට කවියෙක් එකී කම්පනයම වචනය කිහිපයකින් ප්‍රකාශණය කරන්න පුලුවන්. මේ ආස්ථානයේ ඉදන් බැලුවොත් ආදරය කරන ආදර වන්තයෙක් තමන්ගේ ආදරය කවියකින් ප්‍රකාශ කලොත්? නියම කවි ලියන අයට තේරෙනවා ඇති යම් දෙයක් ගැන නියම කවියක් ලියන්න ඒ ගැන තමා තුල තිබෙන හැම දෙයක්ම පෙරල පෙරල ඒවා වචන වලට ගේන්න අරගලයක් කරන්න ඕනි කියල. එතකොට ආදරය ගැන එහෙම කවියක් ලියන්න ගියොත් තමා තුල තියෙන ආදරයෙන් වෙන කම්පනය නැති වෙනවා. ආදරය හිත් අවකාශය තුල සාමාන්‍යකරනය වෙනවා. එතකොට ඒ ආදරේ විශේෂත්වයක් නැති වෙන්වා. තමන්ට ආවේනික ආදරය, කම්පනය ජන සතු වෙනවා. ජන සතු වුන ආදරයක ඉන්න පුලුවන් තරම් හදවත ලොකුනම් කමක් නැහැ. විරහව ගැන කවි වැඩි ඇයි? මිනිස්සු තමන් අත්විදින වේදනා ප්‍රකාශණ මාධ්‍යකින් සාමාන්‍ය කරනය කරන්න හැම වෙලේම උත්සාහ කරනවා. හොදම උදාහරණය මල ගෙවල්. එන එන හැම මනුස්සයටම එකම කතාව ආයෙ ආයෙත් කියන්නේ ඒකයි. අඩල අඩල කතාව දෙතුන් සියයක් කියන සමහරු ඊට පස්සේ මිනිය ඉස්සරහම කාත් එක්ක හරි හිනා වෙවී කතා කරනවා. ඒක තමයි භාශාවේ තියෙන ප්‍රබලත්වය. ඉතින් මෙහෙම බලනකොට ආදරය ගැන කවි ලියන එකයි ඒකෙන් ලව් කැඩෙනවා කියන එකයි අතරෙ අමුතු සහ සම්බන්ධයක් හදන එකේ වැරැද්දක් නැහැ.


මම "ආදරය ගැන කවි ලියන්නත් එපා...එයාගෙන් ලේන්සු ඉල්ලන්නත් එපා " කියල මහ අමුතු මාතෘකාවක් දාගෙන මේ ඔක්කොම කිව්වේ නිමිත්තක් හදා ගන්න. මොකද  බ්ලොග්කරණය දැන් විලාසිතාවක් වෙලා. සිංහලෙන් ගොඩක් බ්ලොග් තියෙනවා. ඒක ගොඩක් හොදයි. ඒ වගේම බ්ලොග් කියවන ලොකු පාඨකයෝ පිරිසකුත් ඉන්නවා. එක එක ජාතියෙ සිංහල බ්ලොග් තියෙනවා. සමාජමය, දේශපාලනික, තාක්ශණික වගේ බ්ලොග් මහ විශාල ගණනක් තියෙනවා. මම හරිනම් බ්ලොග් එකක් කරන්න නැත්නම් බ්ලොග් අවකාශයේ තමන්ව සලකුණු කරන්න කෙනෙක්ට ඕනිනම් ලේසිම ක්‍රම දෙකක් අපිට දකින්න පුලුවන්. ගොඩක් දුරට IT කරන අය බ්ලොග් කරන නිසාදෝ තාක්ශනික බ්ලොග් ගොඩක් තියෙනවා. අපි ඒක එකක් කියමු. අනිත් ක්‍රමය තමයි කවි. කවියක් ඉක්මනට ලියන්න පුලුවන් type කරන්නත් පුලුවන්. ගොඩක් වෙලාව නාස්ති කරන්න ඕනිත් නැහැ. ඒත් එක්කම තමන් ඇතුලේ හිර වෙලා තියෙන ඇරියස් යවන්නත් පුලුවන්. හැම ජාතියකම කලාව පැවතිය යුතුයි. මොකද ඒ ඒ කලාවන් විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරනවා.
මෙතන අපි කතා කරන්නේ කවිය ගැන. මම උඩින් කියපු විදිහට කවිය මහා බරක් කරගෙන ලියන්න ඕනි නැහැ. කෙනෙක් කවියක් මාස ගණනක් අරන් ලියන්න පුලුවන් තවත් කෙනෙක් තත්පර ගානකින්. ඒක තීරනය වෙන්නේ අත්දැකීමේ ප්‍රමාණය සහ ඒකට නිර්මාපකයා සමීප උන ප්‍රමාණය මත.
බ්ලොග් අවකාශයේ පට්ටම කවි තියෙන බ්ලොග් තියෙනවා ඒත් එක්කම උපරිම බොලඳ කවි තියෙන බ්ලොග් එහෙමත් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී බ්ලොග්කරණය තුල ගොඩක් අය තමන්ව අකුරු ගොඩකින් තවත් මිනිස්සු ගොඩකට පෙන්නනවා. සෑම බ්ලොග් වර්ගයක්ම අතරින් කවි තියෙන බ්ලොග් ගොඩක් විශේෂයි. තාක්ශණික බ්ලොග් අඩවියක් ඒ බ්ලොග් එක ලියන කෙනාගේ දැනුම හැකියාව පෙන්නන්නවා. නමුත් කවි තියෙන බ්ලොග් එකක්? කවි තියෙන බ්ලොග් එකක් ඒ බ්ලොග් කරුවාගේ සමස්ථය පෙන්නනවා. සමාජ තත්වය, අද්‍යාපන තත්වය, ආකල්ප, මතවාද, පෞරුෂත්වය ආදී සෑම දෙයක්ම. අපිට මෙහෙම ආප්තෝපදේශයක් උනත් කියන්න පුලුවන් "කවි බ්ලොග් එක බ්ලොග් කරුවාගේ කැඩපතයි". එහෙම හරි යන්නෙත් නැහැ කියන්න පුලුවන් X-Ray පිටපතයි කියල උනත්. මොකද හරියට බ්ලොග් එකක් අධ්‍යනය කරල ගොඩක් දේවල් මැන ගන්න පුලුවන්. මම හිතනවා ගොඩක් ඉන්න සිංහල බ්ලොග් කරුවෝ තරුණ අය කියල. ඒ වගේම විශ්ව විද්‍යාල ප්‍රජාව තුලත් මේක වේගයෙන් පැතිර යනවා. ඒ ගොඩක් අයගේ දෙමව්පියෝ බ්ලොග් බලන අය නොවෙනව කියන එකත් අනිවාර්යයි. ඒකත් ගොඩක් හොදයි. මොකද සමහර කැම්පස් අයගේ බ්ලොග් වල තියෙන සොටු පෙරෙන බොලද ආදර කතා ඒ මිනිස්සු දැක්කොත් "උඹ කැම්පස් ගිහින් ඉගෙන ගත්තේ මෙවනම් වරෙන් පුතේ ගෙදර" කියල ගෙදර එක්කගෙන යනවා. නැත්නම් වසර ගණනාවකට පස්සේ ඒ කෙනෙක්ගේ දරුවෙක් ඒක දැකල තමන් මවක් හෝ පියෙක් ලෙස සංකේතීයව ගොඩනගා ගත් චරිතය දිය කර ගන්නවා. ඒ හැරෙන්නට සමස්ථයක් විදිහට ගත්තහම විශ්ව විද්‍යාල සිසුන් විසින් පවත්වාගෙන යන බ්ලොග් අඩවි ඉතාමත් විශිෂ්ඨයි. කැම්පස් වල බ්ලොග්කරණය පැතිරීම බ්ලොග්කරණයේ ප්‍රමිතීන් සකසන්නට ඉවහල් වෙන බව නම් අනිවාර්යයි. මටත් බ්ලොග් ගැන පොඩි අත්දැකීමත් තිබුනත් මේ බ්ලොග් අඩවිය සහ තවත් බ්ලොග් අඩවියක් තාක්ශනික දේ ගැන ලියන්නට පටන් ගත්තේ විශ්ව විද්‍යාල සිසුවෙක් විදිහට UCSC සෙවණට ආවට පස්සේ. තමාගේ බ්ලොගයෙන් ‍තමන් නොදැනුවත්මවම තමාගේ අතිශය විශාල පරාසයක් නිරාවරණය කරන නිසාවෙන් තමන් ගැන නැතත් වැඩූ දෙමාපියන් ගැන සිතා දෙයක් ලිවීම කල යුතුයි. අනික මේ හැම එකෙක්ම අදාල වෙන්නේ බ්ලොග් එකේ තමන්ගේ ඇත්ත නම ගම දාගෙන ලියන අයට විතරයි.
අනිත් දේ තමයි කවි ලියන්න නිමිත්තක් හැම වෙලේම එන්නේ නැහැ. ඒක බලෙන් අරගෙන ලිව්වොත් බිහි වෙන්නේ බොහොම කෘතීම නිර්මාණයක්. අරකෙන් මේකෙන් බ්ලොග් එක එලියට විසිවෙයි කියල බයෙන් කවි ලියන්නත් හොද නැහැ. කවියක් ලිවිය යුතුම හෙයින් බොරු ආවේගයක් ආදේශ කර ගැනීම හෝ තමා විසින් බලෙන් තමාවම විරහවක් තුලට ඇද දමාගෙන කවියක් ලිවීමත් වැඩක් නැහැ. මොකද ඒ කවි වල ඒ ව්‍යාජත්වය පිළිබිබු වෙනවා. ඒ වගේම මම වගේම ගොඩක් බ්ලොග් කියවන්නන්ට එවන් බ්ලොග් හාස්යෝත්පාදනය කරනවා. මොකද එතන වෙන්නෙ බොරුවක් කියල ඕනිම කෙනෙක්ට තේරෙන නිසා(එහෙම නොතේරෙන අයත් ඉන්නවා).  කොහොම උනත් හැම ජාතියකම දේවල් තියෙන්න ඕනි. මොකද දැන් විශිෂ්ට කවියෝ බ්ලොග් අවකාශයෙන් බිහි වෙලා ඉන්නවා. ඒ කෙනෙක්ගෙ කවියක් කියවල කම්පනය වෙන හිත සැහැල්ලු කර ගන්න මොකක් හරි තියෙන්නත් ඕනිනේ. තම තමන්ගෙ වන්සෙ තම තමන් එලියට දාන්න, රෙදි හෝද ගන්න, බ්ලොග් හොද මාධ්‍යක්. ඉතින් මම ඒකයි‍ "ආදරය ගැන කවි ලියන්නත් එපා...එයාගෙන් ලේන්සු ඉල්ලන්නත් එපා" කියල අමුතු විදිහට පටන් අරන් අමුතු කතාවක් සරල බාසාවෙන් කිව්වේ.

3 comments:

  1. එහෙම නොතේරෙන අයත් ඉන්නවා

    ReplyDelete
  2. @Senavirathna: ඔව් හැම මට්ටමේම මානසික මට්ටම් තියෙන මිනිස්සු ඉන්නවා. ඒක එහෙම වෙලා තියෙන්නේ සමතුලිතභාවය නිසාද??. කොහොම උනත් කොමෙන්ටුවට බොහොම ස්තුතියි.

    ReplyDelete
  3. කතාව නම් සහතික ඇත්ත නිමේශ්...සුජීව ප්‍රසන්න ආරච්චි,එඩ්වඩ් මල්ල්වාඅරච්චි,එතකොට ඕවා ලියන ගෑනු කෙනෙකුත් ඉන්න්ව නේද...?මට නම් මතක නෑ..මොකද මම ඒ පොත් තියෙන කඩයක් ගාවින් වත් යන්නෙ නෑ...බොරුවට විරහව ඇඟට ආරූඩ කරගෙන බොලඳ කවි ලියන පොරවල් මහා රැඩිකල් කවි කාරයෝ වගේ පාරම් බාන එක මේ බ්ලොග් සංස්කෘතිය ඇතුලේ අන්තිම සාමාන්‍ය වෙලා..
    ආදරය කියන එක මම හිතන්නෙ සුජීව ලියනවට වඩා මිනිස් සිතේ පහල වෙන බොහොම සියුම් මනෝභාවයක්.ඒ වගේම ඊට වඩා ප්‍රායෝගික දෙයක්.බොලඳ කවි කාරයොන්ගේ සින්තටික් ආදරය තියෙන්නේ සම්මත් තත්ව යටතේ පමනයි..ඒක හරියට වස්තුවක් ඝර්ශනය නැති,ගුරුත්වය බල නොපාන තලයක ඔනේ තරම් කල්,කල්පාන්තරය තෙක් වුනත් දිග තියෙනවා නම් යනවා කියන්න වගේ..සම්මත තත්ව තිබුනොත් එහෙමයි.ඒත් ප්‍රායෝගික ලෝකේ එහෙම නෑ

    මිරාන්( මද්දු )

    ReplyDelete