Pages

Sunday, October 3, 2010

ඔයා දැන් ලොකු ළමයෙක්


පාට දේදුන්නක නැගී
චණ්ඩ හිරැ රැස්
සුසිනිදු වළා කැටියකින් පෙරා
වලාකුලු සුරංගනාවියන්
දෙකපුල් සිඹිද්දී
ඈත ක්ෂිතිජ ඉමෙන්
එහා ලෝකයක
සොඳුරැ සිතුවමක්
සිතේ සිත්තමි කරගෙන
ගත කලෙමි කාලයක්,
බාල කාලයත්...

වස්සානය අහවරය
පාට මැකී යයි
දේදුන්නේ
ඇසට නොපෙනී
වලා සුර දූතීයන්
පලා යයි ගතට නොදැනී...

කොන්ක්‍රීට් කටු අකුල්
සම සූරන,
ගෙන්දගම් මඩ ගොහොර
දෙපා අලවන,
දස දහසක් මිනිසුන් අතර
අමුත්තෙකුව,
පය තැබූවෙමි
හුදෙකලා ලොවකට
තනිවම

තරඟයකි
වෙළද තරඟයකි...
නැත කිසිවෙක්
හට කාලය
මා වෙනුවෙන් නොව
තමන් වෙනුවෙන්ද...

දස දහසක් මිනිසුන් අතර
හුදෙකලා වී
ක්ෂිතිජ ඉමෙන් එපිට
පරිකල්පනීය මිරිගුව
හදෙන් කැඩී කැඩී
ගැලවෙද්දී...
පෘථිවි යථාර්ථය
කලු දුම් දුහුවිලි
විශ සමඟ විත්
සිප ගනියි දෙකොපුල්
"මෙයයි ජීවිතය"
රහසේ කොඳුරමින්

මම
ඔබ
අපි
සියල්ලන්ම
තනිවී ඇත
මම
ඔබ
අපි වැනිම,
දස දහසක්
මිනිසුන් මැද
අරැම පුදුම
වෙළද ලෝකයක
විකිණෙමින්
විකුණමින්
ලන්සු තබමින්
මිලට ගනිමින්
තම තමන්වම...

No comments:

Post a Comment