Pages

Sunday, March 13, 2011

ග්‍රීස් ගහෙන් ආපස්සට

හැමදාම වගේ ඉර නැගගෙන ආව. සිහින් සුළං රැල්ලක් නගරය හරහා යනකොට මා අම්මගෙ කුස ඇතුලෙ ඉඳපු කාලය ඇති කියන්න වගේ අම්මගෙ වතුර ටැංකිය කාංදු වෙන්න ගත්තා. මා පිටතට නෑවිත් අම්මගෙ උණුහුමේම රැදෙන්න උත්සාහ කරනකොට තාත්තයි තව කට්ටියකුයි එකතු වෙලා මාව බලෙන්ම එලියට ඇදල ගත්තා. මහ හිස් හැඟීමකින් වෙළුනු මා ඔහේ සිවිලිමේ පංකාව එකම විදිහට කැරකෙන විදිහ බලන් හිටිය ජෙලි ජල්ලියක් වගේ අම්මගෙ කකුල් පාමුල‍. තාත්තට හරිම ආඩම්බරයි. හනිකට මාව අම්මගෙන් විසංධි කරපු ඔහු සබන් කැටයක් වගේ ලිස්සන මාව ඔහුගෙ රළු ඇඟිලි වලින් මිරිකන් උස්සගෙන ගෙයින් පිටතට ගියා. එක පාරට වැදුනු තද හිරු එලියෙන් ඇස් නිලංකාර වෙද්දි; හමා ගිය සුළං රැල්ලෙන් සර්වාංගය කිළිපොලනකොට මට යාන්තම් ඇහුන වාහන සද්ද අස්සෙන් තාත්ත කියනවා "මගේ ලෝකෙට උඹ සාදරයෙන් පිළිගන්නවා පුතේ" කියල. "තාත්තගෙ ලෝකය?, එතකොට මා මෙතෙක් සිටියෙ අම්මාගෙ ලෝකයේද?, තාත්තාගෙ ලෝකය රළුයි විසාලයි මට ආයෙත් අම්මගෙ ලෝකෙට රිංගන්න ඕනි" මා මොර දී අඩන්නට උනා. මාව සුමුදු දෑතකට මාරු උනා; අම්ම මාව ඇගෙ පපුවට තරුලු කරගෙන "පුතේ හෙට ඉඳන් තාත්තගෙයි මගෙයි මුළු පරම්පරාවෙම නම්බුව වෙනුවෙන් උඹ තරගෙට යනවා...දිනනවා නේද මගෙ රත්තරං පුතා" මගේ කනට මිමිණුවා. මට ආයෙත් ඇඬුම් ආවා. ඉරයි, ගෙදරයි, පාරෙ යන වාහනයි විතරක් දැකපු මා හෙට ඉඳන් මොකක්දෝ තරඟයකට යනවා.

ඉර හනිකට අනිත් පැත්තෙන් හැංගුනා ආයෙත් නැගගෙන ආවා. මට ලස්සන ඇඳුමකුත් අන්දගෙන තාත්තගෙ කාර් එකෙන් අප ගියා ලොකු පිට්ටනියකට. එතන තමා තරඟය තියෙන්නෙ. පිට්ටනිය පුරාවට එක යායට උස ග්‍රීස් ගස්. මේ හැම ග්‍රීස් ගහක්ම මුදුනින් තවත් ග්‍රීස් ගහකට සම්බන්ධ වෙනවා හරහට බැඳපු කරපු කඳකින්. මේ ග්‍රීස් ගස් මනින්න වෙන්නෙ ඒව නඟින්න යන කාලයෙන්. හැම ග්‍රීස් ගහක්ම අවුරුදු විසි හතරෙ ඉඳන් ඉහලට උසයි.

තාත්ත මට පෙන්නුවා ඔහු නැගපු ග්‍රීස් ගහ. අම්ම හරිම ආඩම්බරයෙන් තාත්ත ඒ ග්‍රීස් ගහ දිගේ අනිත් අය තල්ලු කරගෙන නැගගෙන උඩට ගියහම, අනිත් පැත්තෙ ග්‍රීස් ගහේ මුදුනට නැංග කෙනත් එක්ක අර හරහට බැඳපු පොල්ලෙ කොට්ට පොර ගහපු හැටි මට කිව්ව. තාත්ත ගහපු මාරක කොට්ට පහරකින් ප්‍රතිවාදියා විසි වෙලා බිම වැටිල විනාස උන හැටි අම්ම මට විස්තර කළෙ ඇස් වල කඳුළු පුරවගෙන. මට තියෙන්නෙත් තාත්තගෙම ජානලු ඉතින් මමත් ඒ වගේම වීරයෙක්ලු.

එක දවසක් විතරක් වයස මාව ගිණි මද්දහනෙ ඒ අය තෝරපු ග්‍රීස් ගහක් මුල තියල යන්න ගියා. ග්‍රීස් ගහේ නඟින සියළු දෙනා ඒකෙ නඟින්නෙ කිසිම ඇඳුමක් නැතිව. ගැහැණු පිරිමි දෙගොල්ලොම නිරුවතින් ග්‍රීස් ගහේ නඟිනවා. උන් ලොකු වෙන්නෙත් කාලයත් එක්කම ග්‍රීස් ගහ බදාගෙනමයි. එක එකා පාගගෙන, මිරිකගෙන ඉහලට යන්න තරඟ කරනවා. සමහරු ඉහලින් ඉන්න එකාගෙ කකුලෙන් ඇදල පහලට දානවා. ඉහලින් ඉන්න එකා පහලින් ඉන්න එකාගෙ ඔලුවට විළුඹෙන් ඇනල පහලට දානවා. ග්‍රීස් එක්ක එකිනෙකාගෙ ශරීර ඇතිල්ලෙනකොට සමහරු ආදරයෙන් වෙලෙනවා. ඒ වෙලෙන අය ආදරය නිසා ගහ අත ඇරල අනෙකාව බදා ගන්න හදනකොට නොදැනුවත්වම ගහ පල්ලෙ වැටිල විනාශ වෙනවා. මේක තරඟයේ බිමක් නොවේ විනාසයේ බිමක්. සොහොන් පිට්ටනියක්. සියල්ලෝම පාහේ වැටී විනාශ වෙනකොට එක් අයෙක් ඉඳ හිට ගහ මුදුනට යනවා ඉන්පසු අනෙක් ගසේ මුදුනට ආපු මනුස්සයත් එක්ක ද්වන්ධ සටන. ඒ සටනින් දිනන අය පහලට එන්නෙ දිනල ටයි කෝට් පැලඳගෙන. ඒ දිනපු අය කාර්වල නැඟල ජීවිතය විඳින්න යනවාලු.

මෙහෙම බල බල ඉන්නකොට මාත් අවුරුදු තුනක් විතර ලොකු වෙලා ග්‍රීස් ගහ මුලම. මගේ වයසෙ සියළු දෙනා දැන් ඇඳුම් ගලවනවා ග්‍රීස් ගහේ නඟින්න. මාත් සියළු ඇදුම් උනා දමා ග්‍රීස් ගහ බදා ගත්තා. මගෙ හිත කියනවා නඟින්න එපා කියල. මම බියගුල්ලෙක්මි. මගේ බියපත් සිත මා දෑත් දෙපා අක්‍රීය කරල. "මම මේක කරන්නෙ නෑ" මම මටම කියා ගතිමි. එතැන් පටන් මා ආයෙත් ගස මුල. ලැජ්ජාවෙන් වටපිට බලන විට මා පමණක් නොව තවත් හැම වයසකම අය මා මෙන්ම ගසේ නොනැග එය වර්ජනය කරමින් ඉන්න බව මා දැක්ක.

මා ග්‍රීස් ගහ අතැරි බව මගේ මවත් පියාත් දැනගෙන. ලතෝනි දීගෙන අම්ම දුවගෙන එනවා ඇඩූ කඳුලෙන්. තාත්තා ගෝඩ බැරල් එකක් වගේ උතුරනවා කේත්තියෙන්. අම්ම අඬ අඬා කරුණු කියද්දි තාත්තා මට ගහනවා. අම්ම හිතටත් තාත්තා ගතටත් දෙන වේදනාව දරා ගන්න බැරිම තැන මා නැවතත් බදා ගත්තා ග්‍රීස් ගහ. එසේ බදාගෙන වසර විස්සක්ම ඔවුන්ට ඇගෙව්වා මා එහි නියැලෙන බව. නමුත් වසර විස්සකට පසුවත් මා එකම තැන.

තව දුරටත් මේ බොරුව කළ නොහැකි බව මා තේරුම් ගත්තා. මගේ සිත දැන් පිපිරෙන්නට ආසන්න ගිණි කන්දක්. මට නියැලෙන්න අනවශ්‍ය තරඟයක් නිසා මගේ ජීවිතයම මට අහිමි වෙලා. කේත්තිය ලාවා මෙන් පැසවනවා. මා මේ උතුරා හැලෙන කේන්තිය දෑතින් අරගෙන මා මෙන්ම ගස් බඩ ගෑම පිළිකෙව් කළ අනෙකුන්ට පෙව්වා. ඉන්පසු ඔවුන්ද කේන්තියෙන් පුපුරන්නට උණා. අප එකතු උනා තරහෙන්. කේන්තිය අපේ මහා ශක්තිය උනා. රැයක එකතු වූ අප තරඟය විනාස කරන්නට සංවිධානය උනා. සමාජයේ මහා ටැඹවල් උන එහි ජීවනාලිය උන ග්‍රීස් ගස් අපේ කේත්තිය හමුවේ ගොයම් ගස් මෙන් ඉදිරුනා. මිනිස්සු ගොඩක් මැරුනා අපි ගස් උදුරනකොට. අපේ සටන් කරුවොත් ගොඩක් මැරුනා ග්‍රීස් ගස් වලට යට වෙලා. අවසන එක යායට කඩා හැළුනු විසාල ග්‍රීස් ගස්. මුළු භූමියම ග්‍රීස් ලේ මුහු වෙලා මූසල පාටක් අරගෙන. අපි ජය ලැබූවෙමු. මුළු ජීවිත කාලයම බොරු කරපු අප අවසන ජය ගත්තා. නමුත් මගේ හිත මහා හිස් කමකින් වෙලී යන්නට උනා. දැන් අපි කුමක් කරමුද?. ගස් නැති හැමෝම දැන් එක තලයක. නමුත් දැන් අප කරන්නෙ කුමක්ද?, ගස් තිබුනානම් තරඟ කරන්නට හෝ විනාශ වෙන්නට හෝ බොරු කරන්නට හෝ තිබුණා. මහා හිස් හැගීමකින් වෙළී ගිය මා හරහට උදුරා දැමුණු ග්‍රීස් ගහක් බදාගෙන නිදන්නට උනා.

හැමදාම වගේ පසුවදාත් හිරු පායා ආවා. නමුත් පොඩි වෙනසකුත් වෙලා. ඉර නැගගෙන ආවෙ වෙනත් දිශාවකින්. නැගිට දෑස් පිස දමා වට පිට බැලූ විට මා දුටුවේ වෙනස් ලොවක්. ග්‍රීස් ගස් සියල්ල පොළවට ක්ෂය වෙලා කුඩා හරිත වර්ණ ගස් පොළවෙන් මතු වෙලා. ලෝකය වෙනස් වෙලා. නැහැ මේ අලුත් ලෝකයක්. අපි නිර්මාණය කරපු අලුත් ලෝකයක්. පායා තියෙන්නෙ අලුත් ඉරක්. අලුත් හිරුගෙ නැවුම් පහසින් නිදා සිටි මිනිසුන් අවදි වන්නට උනා. මිනිසුන් දුටු මා විශ්මයෙන් ගල් ගැසී ගියා. දැන් ඔවුන් මා දැන සිටි මිනිසුන් නොවේ ඔවුන් නියන්ඩර්තාල්වරු වෙලා. අලුත් ලෝකයේ ඔවුන් පරිණාමයෙන් ආපස්සට ගිහින්. මම මා දෙසම බැලීමි. මගේ දෑත් දෙපා ඝන ලෝම ආවරණයක්. මාද නියන්ඩර්තාලයෙක් බවට විපරිණාමය වෙලා. අලුත් ලෝකයේ අපි සියල්ලෝම නියඩර්තාලයන් වී වානරයාගෙන් එක පියවරක් ඉදිරියෙන් සිටිමු.

අලුත් ලොව අලුත් හිරුගේ නැවුම් හිරු කිරණින් කුලමත් වූ නියන්ඩර්තාලයෝ පොළවෙන් ඉහලට නැඟුනු කුඩා ගස් වලින් මුගුරු කඩා ගන්නට වූහ. එසේ කඩා ගත් මුගුරු වනමින් මහ හඬින් කෑ ගසමින් අතේ ඇති මුගුරින් ඇස් ඉදිරියට පැමිණෙන සියල්ලට වැරෙන් ගසමින්, කුඩු කරමින් ඔහේ දුවන්නට විය. මා ඉදිරියට මුගුරක් අමෝරාගෙන අමනුස්ස හඩින් ගොරවාගෙන ආ නියන්ඩර්තාලයෙකුට මා හනික මුගුරක් කඩාගෙන ඔලුව කුඩු වෙන්නට ගැසීමි. ඉන් පසු තවත් එකෙක්. මෙලෙස මා සහෝදර නියන්ඩර්තාලයෝ කිහිප දෙනෙක්ම මා මුගුරෙන් හිස් කබල් කුඩු කර ගත්හ. මම හනිකට අසල සෑදී තිබූ විශාල වනාන්තරකට රිංගා රැකවරණය ලදිමි. සිහිල් දොළ පාරක් අසල ගසකට පිටදී වාඩි වී වසර දහස් කීයක් අප ආපසු ඇවිදින්ද කියා ගණන් කරන්නට වූයෙමි. පරණ මිනිසා වීමට තව වසර කොපමණ දහස් ගණනක් සිටිය යුතුදැයි සිතන්නට වීමි. අවසන ඒ සියල්ලට වඩා නැඟ ආ කුසගින්න බලවත් වූයෙන් කුස පුරවන්නට සතෙකු මරා ගන්නේ කෙලෙසදැයි සිතන්නට වූයෙමි.

5 comments:

  1. කොටස් කතාවක්ද නිමෙශ්...

    ලස්සනයි... සැබැ යාතර්ථය.. එත් ඔයාලා කරා වගේ තාම අපේ ලෝකෙට හරිත ලෝකයක් ඉදි වෙලා නැ.. තාමත් ග්‍රිස් ගහේ නගින මිනිස්සුයි ඉන්නේ තාමත්...

    ReplyDelete
  2. @නිම්ෂා: කෙටි කතාවක් කියල හිතාගෙන ලිව්වෙ....හ්ම්ම්....තව කොටසක්...බලමු ලියවුනොත් දාන්නම් :) බොහොම ස්තුතියි කොමෙන්ටුවට

    ReplyDelete
  3. ෂ: මරු!
    තව කොටසක් ලියන්න අවශ්‍ය නෑ....

    මම මෙකෙ කියවද්දි හිතුණෙ අර ගහෙන් බැහැල ජීවිතය විඳින්න යනව කියල පිටතට පේන මනුස්සය ඇත්ත වශයෙන්ම ඒ මනුස්සයට අනුව නියැන්ඩතාල් කෙනෙක් වෙලා කියල. ඒ කියන්නෙ ගහේ නොනැග බ්ම ඉන්න අයට හිතෙනව ටයි කෝට් දාල කාර් එකේ යද්දි ඒ නියම පොරක් කියල. ඒත් ඇත්තටම ඒ යන්නෙ නියැන්ඩතාල් කෙනෙක්...

    අන්තිමේ කියන්න වෙන්නෙ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි හැමෝගෙම ඉරණම මේකයි කියල තමයි...

    ReplyDelete
  4. @hare :-) : බොහොම ස්තුතියි යාලුවා!!!!

    ReplyDelete
  5. අපි කැමතියි මේ ග්‍රීස් ගස් නගින ජීවිතයෙන් මිදෙන්න ... ඒත් අපිව ඒ ගස් වලට තියලා තද වෙන්න ගැට ගහලා.ගලවගන්න හරි අමාරුයි...

    ReplyDelete