Pages

Sunday, April 30, 2017

විරාමය නැවතිය යුතු

තනිකමත් අරුමය
කවි සිතට කදිමය,
නමුඳු
හදවතට නොරිසිය

ඇය නොදැකුමත්
සොඳුරුය
ඇය ගැනම සිත විමසුම
කොනක හැම හුස්මක
නමුඳු
නෙත සොයන්නේ ඇයමය...

කදිම තනිකමත්
සොඳුරු නොදැකුමත්
දැරිය නොහැකිය තවත්
හදවත උරණය
නෙතට වෙහෙසය
මේ විරාමය දිගු
නැවතිය යුතුම සමයය....

සසැලෙන ලොවක

යුද බිමක ඇත්නම්
නිසල බවක්
කිසිවෙකුන් නොහඟින
ඒ මගේ හදවතයි,
වළා පිරුණද අහසක
නොමැකෙයි
හිරු එළිය එයින්
අසංක්ශිප්තිත රික්තය එයයි,
ඉර්තු වෙනස්වන ලොවක
ගසක අරටුව
නොවෙනස්ය මියෙන තෙක්,
සසැලෙන ලොවක
නොසැලන දෑ හිඟය,
නිසල හද බිමක
රික්ත අවකාශයක
හටගනී නම් යමක්
ඒ ඕපපාතික පෙමක් පමණය...

ඉරණම

අඳුර ලොව
වසාගත් විට
නුබේ සෙවනැලි අඳින්නම්
නෙතු පියන්
වැසුණු විට
නුඹගෙ රුව මවන්නම්
රාත්‍රියේ සීතල
ගත වෙලාගත් විට
නුඹගෙ උණුහුම සිහි කරන්නම්
කුරුළු සර ලොව
මැකුණු දිනයක
නුඹගෙ හඬ සිත පුරන්නම්
මගේ හද ගැස්ම
නවතින යම් දිනක
මේ සියල් මතකයන්
සුසානය වෙත රැගෙන යන්නම්....

ගිම්හානය නපුරුය

ගිම්හානය නපුරුය
සවන් පත් අසල
ගී ගැයූ
පුංචි කිරිල්ලිය
අද ටිකක් ඈතය....

වසන්තයේ ඇය
නැවත එන බැව්ද
වසන්තයට
තව දින දෙකක් බැව්ද,
එතෙක් රිස්සිය යුතු බව
ගිම්හානයේ දාහය
කියාදිය හැක්කේද
පුංචි කිරිල්ලියටමය....

Saturday, April 29, 2017

නිශා යාමයන් විටෙකදී ඉතා දිගුවෙත්

සඳ අමාවක
වියලි
සීත නිශා යාමයන්
විටෙකදී ඉතා දිගුවෙත්
ආදරයද වියෙලෙනේ
සඳ දියෙන් නොතෙමන
එවන් සමයට....

තරු මල් පිපුණද දහසක්
අහස පුරාවට
සඳ නොමැති අවසරයෙන්
පෙම් මල් පිපෙන්නේ
සඳ දිය පහසටමය,
පුංචි පුංචි තරු කැට වලට
කෙලෙසක හැකිද
පුදන්නට සඳක සෙනෙහස,
අහසකට උරුම
එක සඳකි වෙන නැත
අහස පිරෙන්නේ එවිටය
පෙම් මල් පිදෙන්නේ
සඳලියට පමණය....

විලකට නෙළුම

ඉවුරු බිඳීගිය
බොරදියෙන් පිරීගිය
පත්ල ගලින් වැසීගිය
අරණක කොනක
සුසුම් හෙළන
විලකට වුව
කදිමයි අනගියි
ස්නේහයේ එකමැ නෙළුමක්...

සුනිල දිය විලක වුව
කිළිටි මඩ වලක වුව
පිපුනේද නෙළුමක්
ගෙන එයි එකමැ සුවඳක්,
ඒ ප්‍රේමයයි
කුමන විලක් වුව
ලොවට පුදාලන...

ලොවට අතැහැරුනු
සියුම් සොඳුරු තැන් දකින
සමනල කිදුරියකට
නෙළුමකින් වෑහෙන
නොඉඳුල් ආදරයක
විසිරෙන සුවඳ මිස,
පිපුණු තැන කිළිට්ටද
පිපුණු සැටි නිමිත්තද
පළක් වන්නේ නොමැති
පළක් වූයේද නැති...

නෙළුමක්නම්  නෙළුමක්මය
පෙමක්නම් පෙමක්මය
කොතැනක පිපුණද
කෙලෙසක පිපුණද
එකම සුවඳක් විහිදුවාලන.......

Friday, April 28, 2017

අමාවක රැය සසරකි

වාළුකා තලය නිසලය
සීතල රාත්‍රියක, 
වළා සේලයක එතී 
සඳ සැඟවිලාය 
සංසාර දුක උරුම කළ
ඈතක... 

තරුවකුදු නොපිපෙන රාත්‍රිය 
සිසිරයක හිම සීතයි, 
උණුහුමක් අයදියි 
වාළුකා තලය නිසසල අහසින්, 
විඩාපත් දෑස් පිසමින් විමසයි
සඳ එන්නේ කවදාද යළිත්  
අහිමි වසන්තයේ 
සුවඳක් කැටුව....

රුදුරු හිරු මුදාලන 
දිවාකල දාහයෙන් දැවුන  
සීත කැන්දන් එන රාත්‍රී අහසක් 
පුරවා සැනහිය නොහැක
පුංචි පුංචි තරුමල් වලට

දහවල් දාහෙන් පිපිරී 
රාත්‍රී සීතෙන් හැකිලෙන 
වාළුකා තලයකට 
සොඳුරු සඳ පිපි රැයක් මිස 
නොමැත අන් සැනහුමක්  

එහෙව් වාළුකා තලයකට 
අමාවක රැයක් 
ගතකළ නොහෙන 
සසරක් බැව් 
සඳ මලට  නොහැගේද.....

Wednesday, April 26, 2017

දෘඩ බව

පුළුන් පිඩක් සේ
සියුමැලි වුවද
සඳ සාවිය සේ
පියකරු වුවද
දෑසට නොපෙනෙන
හසු නොවෙන ඇඟිලි තුඩගට
දෘඩ බවක්
ඇයට උරුමයි....
ඒ ඇගේ හදවතද
මවාගත් පිට පටලයක්ද....

පටලයක්නම් දිය වේවි
ස්නේහෙයක උණුසුමකින්
සීරී කැබළි විසිරේවි
නෙතු දහරකින් ලොව දකින...

දිය අංශුවක ගැබ් වුන සිහිලසද
හීන් සුළං රැල්ලක මදහසද
ලපළු දල්ලක මෘදුබවද
ඉපිදෙන්නට නොහැකිව
සුසුම් හෙළන
කිදුරු සෙනෙහෙක
සියුම් ඉඟියක්
කෙලෙසක හැඟෙයිද
දෘඩ බවින් වැසී ගිය
හදවතකට......

Tuesday, April 25, 2017

සමනලිය

කවි වලට ගතු කියන
පද සමඟ දඟකරන
වදන් මතින් පැනයන
පුංචි සමනලිය.....

කවි සිත මත වසන
කවි මලින් සැනැහී
රංඩු අල්ලන
දඟකාර සමනලිය.....

නොහැගීමත් සුන්දරය

සියුම් සුළං රැල්ලකිනුදු
බිඳී යා නම් සිතක්
ඒ ඇගේ සිතමය....

අහේතුකව කඳුළුක් උනයිනම්
උල්පතක් ලෙස අරණක
ඒ ඇගේ නෙතුමය....

සොබාදහමට හැඟෙන
මට නොහැගෙන
පසිදලන්නට අපහසු
හැඟුම් ප්‍රෙහේලිකාව
ඇය.....

නොහැගීමත් සුන්දරය
හැඟීම් අකීකරුය
ඇය හරිම කෝලය
නමුදු හරි ගැඹුරුය
අනෝතප්ත විලයි ඇය
ඉදිකටු තුඩකිනිදු කැලැතෙණ ...


Monday, April 24, 2017

මද්දහනක අදුර

සුපුරුදු මගක්ද
සන්‍යාසි ජීවිතයට
අතීතයෙන් උරුම වූ
දහසක් වීදුරු කැබැළි
මඟ ඇතිරී...

හිරු බැබැළී සම දැවූවද
දෑසම අන්ධය
ලොව දිලෙන මද්දහනක අදුර
මගේ සිතට විතරය...

නුපුරුදු පුරුදු සුවඳක්
පාර කියූවද
නුපුරුදු මානයක තනිවන්න
දෑසම නොපෙනේ
මඟ සොයන්නට
නොදනිම් ගමන් තෙර
කොහේ ගෙන යාවිද
ඇගේ සුවඳ හා හමා යන සුළඟ

නංනාදුනනා මංතෙරක
අබියස සමුගැන්මක්ද නැති
හමුවීමක්ද නැති
සාංසාරික සුවඳකට ආසක්තව
අතීතයේ වරෙක මඟ හැරුණු
ජීවිතය සොයා යන
නිමක් නැති වන්දනාවක....

Thursday, April 20, 2017

අඳුර

අඳුරය හාත්පස
මුවාවට ගණ අඳුර පමණය
නෙත් කෙවෙනි මත
දිදුලන කඳුළු කැට හංගන්ට

දිවිතෙර පුරා තාමත්
මල් ඉහිරෙන වැස්සමය
එයින් නොසේදෙන
කඳුළු මුතු උණුහුම්ය

පෙණැහල්ල පුරා උරා ගත්
දුමක් හැර පෙමක් නැත සැනහෙන්න
හද පුරා කිති කවන
හැඟීම් එතරම් අකීකරුය

කවියද දුකක්ය
මංමුලා වූ හදකට
දුක නිවෙන්නට කවිත් නැති කල
හද පැලෙනේ අකලට

පහණක්ව දිලෙන
බුද්ධිය තලත්තෑනිය
ඒ අසල පියඹුව
සමණලියකගේ තටු යුවල පිච්චුව

රෑ පුරා නොවැසෙන
නෙත් දෙකට පවා වෙහෙසය
නෙත් පියා ගනු නොදෙන හදවත
සොයයි දැවී ගිය සමණල තටු කැබැළි

සංසාර පුරුද්දට
හද දන් දෙන වැරැද්දය
මමංකාර ජීවිත
එය කඩා විසිකරන

සුසානය අත ලඟය
එයයි දුක නිවෙන එකම තැන
කඩා ගත් හදවත් කැබැළිති
වැටී ඇති සිහිවන්න අසලම

ජීවිතය එකම කතරක්

කොවුල් නද
දෙස්වන් වෙලද්දී
තනි වූ හදවතක ඉකි ගැසුමක්
ඇසෙන්නේ කෙලෙසකද...

විඩාපත් දිවියක
බිඳීගිය හදවතක්
සෙනේබර මොහොතක නැවතුමක්
අපිරිමිත වේදනා උරුම ජීවිතයෙන්
යදින්නේ කෙලෙසකද....

ලෝකය එතරම් සොඳුරු නැත
ජීවිතය එතරම් කුළුණු නැත
හදවත් එතරම් සුමට නැත
බිඳී ගිය උන් සනහන්නට

ජීවිතය එකම කතරක්
සරතැසින් වෙලී ගිය
විඩාපත් හදවත්
මිරිඟු මායවන් පෙන්වා
ඒ පසුපසම හඹවා
මායාවේම ගිල්වා
එකමැ සෙනේබර බිඳුවක්
අයදින හදවත්
දවා හළු කරන....

හඳ හා

නෙතු අගින් වෑහෙන
නොකියූ කවියේ
පද වැල් අමුණන්නට
වෙහෙසෙන හදවත
හඳ හා සමඟ
ඈ ගැන කතාවක්
රාත්‍රිය පුරාවට....

ඇය නිදන සැටි දකින
සඳට තරු වලට
ගතු කියන හදවතක්...

අහස අමාවක කර සදහටම
හැකිනම් වන්නට
එකම එක තරුව අඹරේ සදහටම
නිරතුරුව දිලෙන්නම් රැයම
පාර කියන්නට ගණ අඳුරේ
නිරතුරුව සිටින්නම් තනිව
නුබ දෙස බලන්නට අඹරේ...

නිර්නාමික යතාර්ථ

නිල් නෙතු සඟවන්නේ
ජීවිතයේ ඇත්තයි...
නෙතු හමු නොවන්නේ
පූරුවේ පවකටයි...

නාමකරණ
අවැසි නැත සොඳුරිය,
නිර්නාමික යතාර්ථදැ
ලොව ඇති බැව්
වැටහුනු දිනක
සරල වේවි
හමුවන්න
මිනිසුන්ව....

කල්පයක්

කල්පයක් සේ දැනුනු
ක්ෂණයකින් නිමා වූ
නිරුදක කතරකට
අහසක් ආදරයෙන්
දිය බිඳක් පිදූ
මොහොතක්...

සසරක් පුරා
කතරක් අයැදූ
දිය බිඳක
පහස
කතර සිරස
ලැබූ
ඒ  ඇසිල්ලේ
සසරක් පුරා
කතරක් විදවූ
අපිරිමිත වේදනාවේ
විලාපය
කතරේ ගැඹුරුම තැනෙක
අහසට හොරෙන්
නින්නාද වී
නැගුණු කුඩා කඳුලක්,
කතර රළු බවෙන්
අහසත් නොදැකම
වියලුනා මතකයි....

සිහිනෙන් ගෑ සුවඳක් සේ
ඒ සුමුදු දිය බිඳු සිසිල
කතරට ඇතියි
ගෙවාලන්නට
තවත් සසරක්
අහසට නෙත් යොමන්...

Monday, March 27, 2017

කඳුළු කැටයට ස්නේහයෙන් කියන වග

නාදළු දෙතොල්
සැලි සැලී
වියෙකෙණ හඬ්කින්
හදවතේ ලැගුම් ගත්
මිනිසා සොයනවා...

නෙතු මැණික් දිදුලා
ගලා යන
අපිරිමිත වේදනා දහරින්
සිත් පොළව
තෙමෙනවා...

නුඹේ,
සැලෙන ස්වරයෙන්
කඳුළු උණුහුමෙන්
කඨෝර සිත් පෘශ්ඨය පුපුරා
මිනිස්කම ගලනවා...

අත දෙන්නම් නැගිටින්න
එය නෑර අල්ලගන්න,
සිත් පොළවත් නුඹටයි
එය මතම කරල් බර වන්න,
ලය දෙන්නම් උණුහුමට
එයට සමීපව වැඩෙන්න,
නෙතු දෙන්නම් පරිස්සමට
එයින් ලෝකය දකින්න,
උරස් තල දෙන්නම් සවියට
එයින් වාරු ගෙන නැගෙන්න

නුදුරු අනාගත දිනයක
නුඹ සවිමත් ගසක් වේවි
සිත් පොළවෙන් නුඹ  ඒ දින
මහ පොළවට පනීවි
මහ පොළවේ සුළි කුණාටු
මද සුළගක් සේ දැනේවි
මා ගව්වක් ඈතින් සිට
නුඹේ සොඳුරු බව වනාවි
නුඹ ගව්වක් ඈතින් සිට
තුටු කඳුලක් මට එවාවි.......

Wednesday, March 22, 2017

නුපුරුදු පුරුදු


තාලයක් නැති
ශබ්දයක් නැති
අවජාතක නිමේෂයක
තිමිර පටලයකින් ඔබ්බෙහි පෑයූ
නෙතු යුගලයක් මැවූ
අකාලික අවකාශය

වරින් වර පිපෙන
වරන් වර බිඳෙන
නෙතු දැහැන් අතරත
හඬ මැකුනු
ආලෝක ගණුදෙණුවක්

කාලයේ මිය ගිය
නිමේෂය වැඳු,
අකාලික අවකාශ රික්තයේ
සිර වූ ආලෝක කදම්බ
හදවතේ අඳුරු කළ මුල්ලක්
උණුහුම් කර පාරවන
නුපුරුදු පුරුදු
සංවේදනාවක්...