Pages

Monday, March 27, 2017

කඳුළු කැටයට ස්නේහයෙන් කියන වග

නාදළු දෙතොල්
සැලි සැලී
වියෙකෙණ හඬ්කින්
හදවතේ ලැගුම් ගත්
මිනිසා සොයනවා...

නෙතු මැණික් දිදුලා
ගලා යන
අපිරිමිත වේදනා දහරින්
සිත් පොළව
තෙමෙනවා...

නුඹේ,
සැලෙන ස්වරයෙන්
කඳුළු උණුහුමෙන්
කඨෝර සිත් පෘශ්ඨය පුපුරා
මිනිස්කම ගලනවා...

අත දෙන්නම් නැගිටින්න
එය නෑර අල්ලගන්න,
සිත් පොළවත් නුඹටයි
එය මතම කරල් බර වන්න,
ලය දෙන්නම් උණුහුමට
එයට සමීපව වැඩෙන්න,
නෙතු දෙන්නම් පරිස්සමට
එයින් ලෝකය දකින්න,
උරස් තල දෙන්නම් සවියට
එයින් වාරු ගෙන නැගෙන්න

නුදුරු අනාගත දිනයක
නුඹ සවිමත් ගසක් වේවි
සිත් පොළවෙන් නුඹ  ඒ දින
මහ පොළවට පනීවි
මහ පොළවේ සුළි කුණාටු
මද සුළගක් සේ දැනේවි
මා ගව්වක් ඈතින් සිට
නුඹේ සොඳුරු බව වනාවි
නුඹ ගව්වක් ඈතින් සිට
තුටු කඳුලක් මට එවාවි.......

Wednesday, March 22, 2017

නුපුරුදු පුරුදු


තාලයක් නැති
ශබ්දයක් නැති
අවජාතක නිමේෂයක
තිමිර පටලයකින් ඔබ්බෙහි පෑයූ
නෙතු යුගලයක් මැවූ
අකාලික අවකාශය

වරින් වර පිපෙන
වරන් වර බිඳෙන
නෙතු දැහැන් අතරත
හඬ මැකුනු
ආලෝක ගණුදෙණුවක්

කාලයේ මිය ගිය
නිමේෂය වැඳු,
අකාලික අවකාශ රික්තයේ
සිර වූ ආලෝක කදම්බ
හදවතේ අඳුරු කළ මුල්ලක්
උණුහුම් කර පාරවන
නුපුරුදු පුරුදු
සංවේදනාවක්...